කොරියාවේ ඉතිහාසය | ||||||||
---|---|---|---|---|---|---|---|---|
ප්රාග්ඓතිහාසික | ||||||||
ඓතිහාසික | ||||||||
ප්‍රාක්-තුන් රාජධානි | ||||||||
තුන් රාජධානි | ||||||||
|
||||||||
උතුරු-දකුණු රාජ්‍ය | ||||||||
|
||||||||
පසුකාලීන තුන් රාජධානි | ||||||||
|
||||||||
ඒකීය රාජවංශ සමය | ||||||||
|
||||||||
යටත්විජිත යුගය | ||||||||
|
||||||||
කොරියාව බෙදීම | ||||||||
|
||||||||
මාතෘකා අනුව | ||||||||
කාලරේඛාව | ||||||||
කොරියාව ද්වාරය | ||||||||
ලෝකයේ සෙසු ප්‍රදේශ බොහෝමයක මෙන්, කොරියාවේ විද්‍යාව සහ තාක්ෂණය ද ඇතැම් යුගවල දී අතිශයින් වර්ධනය වූ අතර, එය දියුණුවට පත්නොවී නිශ්චලව පැවති යුගයන් ද විය.
පේලියෝලිතික යුගයේ අවසානයේ දී, කොරියානු අර්ධද්වීපයේ ජනයා විසින් ක්ෂුද්‍ර ශිලා මෙවලම් තාක්ෂණය අනුගමනය කොට තිබේ. මෙය සුනම්‍ය ප්රාග්එතිහාසික මෙවලම් කට්ටලයක් පවත්වා ගැනීමේ කාර්යක්ෂඹ ක්‍රමයක් විය. පේලියෝලිතික යුගය ශාක සහ මානව අන්තර්ක්‍රියා පැවති දිගු කාලීන යුගයක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ වල් පැළෑටි ගණනාවක්ම ඖෂධ ලෙස භාවිතයට ගැනීමට මෙකල ජනයා පෙළඹුණු නිසායි.
ජේජු-දෝහි ගෝසන්-රි වලින් හමුවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, මැටි බඳුන් පළමුවෙන්ම නිර්මාණය වූයේ ක්‍රි.පූ. 8500-8000 පමණ බැව් පෙනී ගොස් ඇත.[1] මධ්‍ය ජ්‍යුල්මුන් යුගයේ (ක්‍රි.පූ. 3500 සිට 2000 පමණ දක්වා) දී කුඩා පරිමාණයේ බෝග වගාවන් ආරම්භ වන තෙක්ම, ජනයා සිය ප්රධානඅආහාර ප්රභවය ලෙස යැපීම සිදුවූයේ රැස් කිරීම, දඩයම සහ ධීවර කර්මාන්තය මත ය.[2][3]
මුමුන් යුගයේ ගොවීන් විසින් ක්‍රි.පූ. 1500න් පසු කිසියම් කාලයක බහු බෝග වගා ක්‍රම අනුගමනය කොට තිබේ.[2] ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ සිදුවූ මෙම ප්රගමනය හේතුවෙන් මුමුන්හි යැපුම් ක්‍රමවේදය මඳක් වෙනස් කරමින් කොරියානු අර්ධ්දවීපය තුළ සූක්ෂ්ම කෘෂිකර්මාන්තය ඇරඹීම ශීඝ්‍ර විය. කොරියාව සහ නැගෙනිහර ආසියාවේ යාබද ප්‍රදේශ තුළ ක්‍රි.පූ. 1500 සහ 500 අතර කාලයේ සෝයාබෝංචි (Glycine max) ගෘහස්ථකරණය සිදුවී ඇති බැව් පෙනේ.[2] මෙම යුගයේ දී අතිශයින් සංකීර්ණ තෙත්-වී වගා ක්‍රමයක් වන කුඹුරු වගා කෘසිකර්මය ද කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටස වෙත හඳුන්වා දී තිබේ.
පුළුල්ව පැතිරුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පෙනෙන්නේ ක්‍රි.පූ. 850න් පසුව, නිවෙස් උණුසුම් කිරීමට භාවිතා වූ තාක්ෂණය වෙනස් වී ඇති බවයි. ක්‍රි.පූ. 850 පෙර ආවාට-නිවෙස් උණුසුම් කිරීමට නිවසේ බිම හාරා සකස් කළ උඳුන් හා ගින්දර භාවිතා විය. ක්‍රි.පූ. 850න් පසු, ආවාට-නිවෙස් ගෘහනිර්මාණය තුළින් අභ්‍යන්තර උඳුන් අතුරුදන් වී ගිය අතර, ඒ වෙනුවට හොසෝ, හොනාම්, සහ බටහිර යොංනම් ප්‍රදේශවල භාවිතා වන ගිනිඅඟුරු බඳුන් වැනි තාක්ෂණ ක්‍රමයක් භාවිතා වන්නට ඇත.
ක්‍රි.පූ. 900ට පෙර බාහිර පෙදෙස්වල සිට කොරියානු අර්ධද්වීපය වෙත ලෝකඩ භාණ්ඩ රැගෙන ඒම සිදු විය. කෙසේනමුත්, සොංගුක්-රි ප්‍රදේශයෙන් හමුවූ ලෝකඩ වාත්තු කිරීමට යොදාගන්නා අච්චු සහ කොරියානු අර්ධද්වීපයේ දකුණු පෙදෙසින් විශාල වශයෙන් හමුවන ලෝකඩ භාණ්ඩ නිසා පෙනෙන්නේ ක්‍රි.පූ. 700 පමණ වන විට අර්ධද්වීපයතුළ ලෝකඩ නිර්මාණ තාක්ෂණය සිදුවී ඇති බවයි. සියවස් කිහිපයකට පසුව, යකඩ නිෂ්පාදනය ද අනුගමන කෙරුණු අතර, කොරියාවේ කිෂ්පාදිත යකඩ ආම්පන්න සහ ආයුධ ක්‍රි.පූ. 200න් පමණ පසුව අතිශයින් සුලබ විය. යකඩ මෙවලම් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ නව ප්‍රදේශ වෙත සූක්ෂ්ම කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීම පහසු විය.
මෑතක් වනතුරුම, "ඔන්දොල්" නැමැති යටි-ගෙබිම උණුසුම්කරණ තාක්ෂණය කොරියානුවන්ගේ නිර්මාණයක් ලෙස සැලකිණි.[4] මුලින් විශ්වාස කෙරුණේ එය වසර 2,500කට පමණ පෙර උතුරු ඔක්ජෝ ජනයා විසින් නිර්මාණය කළ බවයි. කෙසේනමුත්, මෑතක දී ඇලස්කාවෙන් වසර 3,000ක් පමණ පැරණි මෙවැනිම ගෙබිම උණුසුම් කිරීමේ තාක්ෂණයක් සොයාගැනුණු නිසා ඉහත මතය ප්රහ්නාර්ථයක්ව ඇත.[4] ඉහත ස්ථාන දෙක අතර ප්‍රදේශයෙන් කිසිදු ප්රාග්ඓතිහාසික සහ/හෝ පුරාතන ඔන්දොල් අංග හමුනොවීම නිසා, මෙම ක්‍රම දෙකම එකම ප්‍රභවයකින් සම්භවය වූවකැයි සිතීම අපහසු බැව් පෙනේ.[4][5][6]
කොරියානු අර්ධද්වීපය තුළ පළමුවරට දැඩිව පුළුස්සන ලද අර්ධ-වීදුරුමය (stoneware) සෙරමික් නිර්මාණය සිදුවූයේ තුන් රාජධානි යුගයේ ය. මෙහි දී මැටි උඳුන් තුළ 1000 °Cට වැඩි උෂ්ණත්වයකට රත්කොට වීදරු බවට පත්කෙරේ.[7]
මෙම යුගයේ තවත් වැදගත් ලක්ෂණයක් ලෙස කාර්මික-පරිමාණයේ මැටි බඳුන් සහ උළු නිෂ්පාදනය සිදුවීම හඳුනාගත හැක.[8] මෙය ක්‍රි.ව. 100-300 අතර කාලයේ චීන මකර පෝරණුව භාවිතයට ගැනීමට හේතු විය.
වර්තමානය තෙක් ශේෂව ඇති කොරියාවේ තුන් රාජධානි යුගයේ විශිෂ්ට විද්‍යා හා තාක්ෂණික නිමැවුම් අතලොස්ස අතුරින් එකක් ලෙස චොම්සොංදේ හැඳින්විය හැක. මෙහි අරුත "තාරකා නිරීක්ෂණ මණ්ඩපය" යන්නයි. මෙය පෘථිවිය මත ස්ථාපිත පැරණිතම ආකාශ වස්තු නිරීක්ෂණාගාර අතුරින් එකක් ද වේ. මෙය ඉදිවූයේ සොන්දොක් රැජිනගේ පාලන සමයේ ය. මෙම කුළුණ ඉදිකිරීමේ දී කපන ලද ග්‍රැනයිට් කුට්ටි 366ක් භාවිතා වී ඇති අතර, එමගින් චන්ද්‍ර වර්ෂයේ අන්තර්ගත දින 366 සංකේතවත් වේ යැයි ඇතැම්හු පවසති. එසේම මෙහි අත්තිවාරම් පාෂාණ 12ක් ඇති අතර, එමගින් වසරේ මාස දොළහ නිරූපණය වේ යැයි පැවසේ. මෙහි නිර්මාණ සැලැස්ම බුදු දහමේ ආභාසය ලබා නිර්මාණය වූවක් යැයි පිළිගැනේ.
හ්වංන්යොංසාහි මහල් නවයකින් යුත් දැව ස්තූපය එහි ප්‍රධාන විහාර ගොඩනැගිල්ල ඉදිකළ පසුව ඉදිවූවක් වන අතර, එය ද සොන්දොක් රැජිනගේ මෙහෙයවීම මත ඉදිවූවකි. මෙය මෙතක් ඉදිකොට ඇති විශාලතම පූර්වකොරියානු ස්තූපය බව ඇතැම්හු පවසති. එය මීටර 80ක උසින් යුක්ත වූ බැව් වාර්තා වේ. නමුත් වර්තමානය වනවිට, එහි අත්තිවාරම් පාෂාණ පමණක් දැකගත හැකි නමුත්, ඉන් එහි සැබෑ ව්‍යූහයේ වූ දැවන්තභාවය අනුමාන කළ හැක.
ගොර්යෝ රාජවංශ සමයේ 1234දී චෝයි යුන්-උයි විසින් ලෝහ චලන වර්ගයේ මුද්‍රණ ක්‍රමය සොයාගන්නා ලදී.[9][10][11][12][13][14] මෙම සොයාගැනීම හේතුවෙන් මුද්‍රණ කටයුතු තවත් පහසු වූ අතර කාර්යක්ෂම ද විය. මෙකල සාක්ෂරතාව ද ඉහළ ගිය අතර, චීන සංචාරකයන් අනුව එකල කියවන්නට නොහැකි වීම ලැජ්ජාවට කාරණයක් ලෙස සැලකිණි.[15] පසුව මොංගෝල අධිරාජ්‍යය විසින් කොරියාවේ චලන මුද්‍රණ ක්‍රමය අනුගමනය කළ අතර, එය මධ්‍ය ආසියාව පුරා ව්‍යාප්ත කරන ලදී. ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය වැනි පසුකාලීන නිමැවුම් සඳහා ද චෝයිගේ සොයාගැනීම බලපෑවේ ද, එසේ නොවේ ද යන්න පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක පවතියි.[16] මෝංගෝලවරුන් යුරෝපය ආක්‍රමණය කරන විට ඔවුන් නොයෙකුත් ආසියානු තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙන්නට ද ඇත.
පසුකාලීන ගොර්යෝ රාජවංශ සමයේ දී, ගොර්යෝව ලෝකයේ නැව් තට්ටු කාලතුවක්කු නිර්මාණයේ හිනිපෙත්තේ විය. 1356දී, දැව කැබලි හෝ ලෝහ උණ්ඩ යොදා වෙඩිබෙහෙත් ආයුධ පිළිබඳ නොයෙකුත් අත්හදා බැලීම් සිදු කෙරිණි. 1373දී ගිනි ඊතල සහ හ්වාචාහි ආදි ස්වරූපයක් වැයි හැකි යැයි සැලකෙන "ගිනි නල" වැඩිදියුණු කෙරුණු අතර, ඒවා කොරියානු යුධ නැව්වල සවි කෙරිණි. කාලතුවක්කු සහ අනෙකුත් වෙඩිබෙහෙත් ආයුධ භාවිතය ජොසොන් රාජවංශය දක්වාම සිදුවූ අතර, 1410 වන විට, 160කට අධික ජොසොන් යුධ නැව් තට්ටු මත කාලතුවක්කු සවිකොට තිබිණි. මධ්‍යකාලීන කොරියානු නව නිපැයුම්කරුවකු, යුධ සෙන්පතියකු සහ විද්‍යාඥයකු ද වූ චෝයි මු-සොන් විසින් පළමුවරට වෙඩිබෙහෙත් පුළුල්ව භාවිතා කිරීමේ ක්‍රමවේදය කොරියාවට හඳුන්වා දුන් අතර, වෙඩිබෙහෙත් භාවිතා වූ ආයුධ රැසක්ම නිර්මාණය කළේ ය. මෙලෙස ආයුධ නිර්මාණය කරන ලද්දේ ජපන් මුහුදු කොල්ලකරුවන් (වොකොවු) විසින් කොරියානු වෙරළබඩ ප්‍රදේශවල කොල්ලකෑම්වල නිරතවීම නිසායි. චෝයි විසින් වෙඩිබෙහෙත් පිළිබඳ දැනුම ලබාගන්නා ලද්දේ චීන වෙළෙන්දකු වූ ලි යුවාන්ගෙනි. නමුත් එය මොංගෝල නීතියට එරෙහි විමක් විය. ලී මුලින් එයට අකමැති වුව ද, පසුව එයට මනාපය පල කළේ චෝයිගේ ජාතයාලය සහ කැපවීම දැකීමෙනි. පසුව කොර්යෝ රාජ මාලිගය සහ උ රජුගේ ද ප්‍රසාදය හිමි කරගත් අතර, වෙඩිබෙහෙත් පිළිබඳ පර්යේෂණ කිරීමට ඔහු කම්හලක් සහ විද්‍යාගාරයක් ද ලබාදෙන ලදී. පළමුවරට කොරියානු කාලතුවක්කු නිර්මාණය කළ ඔහු සින්ගිජොන් (කොරියානු ගිනි ඊතල) සහ පසුව හ්වාචාව ද නිපදවී ය. 1377දී පළමුවරට නිපදවන ලද මෙම හ්වාචාව පළමු සැබෑ බහුවිධ රොකට් රඳවනය ලෙස සැලකේ.[17] මෙම ආයුධ පෙර රොකට් ආයුධ හා සැසඳීමේ දී විශාල දියුණුවක් ලැබීමට සමත්ව තිබූ අතර, එහි දී රොකට්ටු (අහස් වෙඩි) 200ක් එක්වර නිකුත් කළ හැකි විය.
ජොසොන් රාජවංශයේ මහා සේජොං රජ සමය කොරියාවේ විද්‍යාත්මක ක්ෂේත්රයෙහි දැවැන්ත ප්රගමනයක් සිදුවූ යුගය ලෙස සැලකේ. සේජොංගේ නව ප්‍රතිපත්තිය යටතේ ජං යොං-සිල් වැනි චොන්මින් (පහළ-තත්ත්වයේ) ජනයාට ද රජයේ සේවය කිරීමට අවස්ථාව හිමි විය. ලාබාල වියේදීම, ජං නව නිර්මාණකරුවකු සහ ඉංජිනේරුවරයකු ලෙස සිය කුසලතා ප්‍රදර්ශනය කළ අතර, කෘෂිකාර්මික කටයුතු සඳහා කාර්ය පහසු කිරීමේ උපකරණ ද නිර්මාණය කළේ ය. මේ අතරට ජල නායක සහ ඇල මාර්ග ඉදිකිරීම ද ඇතුළත් විය. ජංහට ක්‍රමයෙන් මාලිගයේ දිවි ගෙවීමට අවසර හිමිවූ අතර, එහිදී කොරියානු විද්‍යාවේ දියුණුව උදෙසා තවත් විද්‍යාඥයින් පිරිසක් සමග ඔහු කටයුතු කළේ ය.
ඔහුගේ ඇතැම් නිමැවුම් අතර, ස්වයංක්‍රීය ජල ඔරලෝසුව (ජග්යොක්රු) ද වේ. 1434දී ජං විසින් නිපදවන ලද මෙය ලී වස්තූන්ගේ චලන මගින් වේලාව දෘශ්‍යමය ලෙස පෙන්වයි. එසේම ඔහු විසින් අමතර තාරකා විද්‍යා උපාංග සහිත මෙයට වඩා සංකීර්ණ තවත් ජල-ඔරලෝසුවක් සහ පැරණි ගොර්යෝ රාජවංශ සමයේ නිර්මාණය වූ ලෝහ චලන මුද්‍රණ ක්‍රමය වැඩිදියුණු කිරීම ද සිදුකරන ලදී. මෙම නව ආකෘතිය ඉහළ ගුණාත්මයෙන් යුතු වූ අතර, ශීඝ්‍රතාව පැරණි යන්ත්‍රය මෙන් දෙගුණයක් විය. සෙසු නිමැවුම් අතර දෘෂ්ටි වීදුරු සහ වර්ෂාමාපක ද වේ.
කොරියානු තාරකා විද්‍යාව ජොසොන් යුගයේ උච්චස්ථානයට පත් විය. මෙකල ජං වැනි පුද්ගලයින් විසින් නිර්මාණය කළ ඛගෝල වැනි උපාංග හේතුවෙන් සූර්යයා, චන්ද්‍රයා, සහ තාරකාවල පිහිටීම නිශ්චිතව දැක්විය හැකි විය.[18] පසුකාලීන ඛගෝල (ග්යුප්යෝ, 규표) ඍතු වෙනස්වීම්වලට ද ගැළපෙන අයුරින් සකස් කෙරිණි.
මහා සේජොං රජ සමයේ තාරකා විද්‍යාත්මක සහ දින දර්ශන ක්ෂේත්රයේ සිදුවූ විශිෂ්ඨතම පෙරැළිය ලෙස චිල්ජොංසන් හැඳින්විය හැක. 1442දී ගොඩනැගූ මෙය සප්ත දිව්‍යමය වස්තූන් (දෘශ්‍යමය ග්‍රහලෝක පහ, සූර්යයා සහ චන්ද්‍රයා) ගමන් මග ඇතුළත් ගණනයන්ගේ එකතුවකි. මෙම කෘතිය නිසා විද්‍යාඥයින්හට සූර්යග්‍රහණ සහ තාරකා චලන වැනි ප්‍රධාන දිව්‍යමය සංසිද්ධි සියල්ල පුරෝකථනය කළ හැකි විය.[19] හොන්චොන්සිග්යේ යනු 1669දී සොං ඉ-යොං විසින් නිර්මාණය කරන ලද තාරකා විද්‍යා ඔරලෝසුවකි. මෙම ඔරලෝසුවේ අන්තර්ගත කටුගෝලයේ විෂ්කම්භය 40 cm කි. මෙම ගෝලය ක්‍රියාත්මක වන්නේ ඔරලෝසු යන්ත්‍රණයක් ඔස්සේ වන අතර, එමගින් දෙන ලද අවස්ථාවක ආකාශ වස්තූන්ගේ පිහිටීම පෙන්වයි.
කංනිදෝ නැමැති කොරියාවේ නිර්මිත ලෝක සිතියම 1402දී, කිම් සා-හ්යොං (김사형, 金士衡), යි මු (이무, 李茂) සහ යි හොයි (이회, 李撓) යන අය විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම සිතියම ජොසොන්හි තේජොං රජ සමයේ දෙවන වර්ෂයේ නිමවූවකි. මෙම සිතියම චීන, කොරියානු සහ ජපන් සිතියම්වල සංකලනයෙන් නිර්මාණය කළ එකකි.
වර්තමානයේ ජාතික භාෂාවක් ලෙස භාවිතා වන පළමු සහ එකම විශේෂාංග වර්ණමාලාව වන හංගුල් 1444දී සේජොං රජු විසින් ප්‍රකාශයට පත්කරන ලදී.
පසුකාලීන ජොසොන් රාජවංශ යුගයේ විද්‍යාත්මක සහ තාක්ෂණික ප්රගමනය මුල්කාලීන ජොසොන් යුගයට සාපේක්ෂව මන්දගාමී විය.
16වන සියවසේ මාලිග වෛද්‍යවරයකු වූ හියෝ ජුන් විසින් වෛද්‍ය කෘති ගණනාවක් ලියා ඇත. ඔහුගේ වඩාත් වැදගත්ම කෘතිය ලෙස සැලකෙන්නේ දොංග්යුයි බෝගම් නැමැති කෘතියයි. මෙය බොහෝ අවස්ථාවල දී සම්ප්‍රදායික කොරියානු වෙදකමේ දී නිර්දිෂ්ට ග්රන්ථයක් ලෙස භාවිතා වේ. මෙම කෘතිය චීනය සහ ජපානය වෙත ව්‍යාප්ත වූ අතර, වර්තමානයේ පවා එය පෙරදිග වෛද්‍ය විද්‍යාවේ ස්මභාව්ය කෘතියක් ලෙස සැලකේ.
පළමු මෘදු ප්රක්ෂේපණ කබාය වන, ම්යුන්ජෙබේගබ් නිර්මාණය වූයේ 1860 දශකයේ ජොසොන් කොරියාව තුළ ය. මෙය කොරියාවට එරෙහි ප්‍රංශ ආක්‍රමණය (1866) සිදුවී මඳ කලකට පසුව නිර්මාණය වූවකි. බටහිර හමුදාවලින් එල්ලවෙමින් පැවති තර්ජනවලින් ආරක්ෂා වීමට වෙඩි නොවදින සන්නාහ නිර්මාණය සඳහා හ්‍යුංසොන් දේවොන්ගුන් විසින් නියෝග කරන ලදී. කිම් ගි-දු සහ ගං යුන් විසින් සොයාගන්නා ලද්දේ ප්‍රමාණවත් ඝනකමක් ඇත්නම් කපුවලට උක්ඩවලින් එරෙහි ආරක්ෂාවක් ලබාදිය හැකි බවයි. මේ නිසා කපු ස්තර 30කින් යුතුව කබා නිෂ්පාදනය කෙරිණි. මෙම කබා කොරියාව වෙත එක්සත් ජනපද ගවේෂණය (1871) සිදුවූ සමයේ, එක්සත් ජනපද නාවික හමුදාව 1871දී ගංග්හ්වා දූපත වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග සටන්වල දී මෙම කබාය භාවිතා විය. මින් එක් කබායක් සොයාගත් එක්ස්ත ජනපද හමුදාව එය එක්සත් ජනපදය වෙත රැගෙන ගොස් 2007 වර්ෂය තෙක් ස්මිත්සෝනියානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන ලදී. මේ වනවිට කොරියාව වෙත රැගෙන එන ලදුව, එය මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
1985 පසුභාගයේ උතුරු කොරියාවේ පළමු සංගෘහිත පරිපථ නිර්මාණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. 1990 දශකයේ මුල් කාලය වන විට උතුරු කොරියාව වසරකට පරිගණක 20,000ක් පමණ නිර්මාණය කළේ ය. වාර්තා අනුව ඉන් 60%ක් අපනයනය කෙරුණු අතර, සෙසු ප්‍රමාණය ප්‍රධාන වශයන්ම අභ්‍යන්තර යුධ කටයුතු සඳහා භාවිතා විය.[20] මුල්කාලීන 1990 දශකයේ මෘදුකාංග සංවර්ධන කර්මාන්ත ද ඇරඹිණි.[20][21] සාමාන්‍යයෙන්, මෘදුකාංග ව්‍යාපෘතිය ඉහළ මට්ටමකින් සිදුවන අතර, අනාගතයේ දී එය ප්‍රධාන අපනයන අංගය වනු ඇතැයි විශ්වාස කෙරේ.[22] උතුරු කොරියාව විසින් තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කොට ඇති අතර, එය Red Star[23] නම් වේ. එසේම ක්වංම්යොං නැමැති අන්තඃජාල ජාලකරණයක් ද ඇති අතර, එහි අන්තර්ගත වන්නේ අන්තර්ජාලයේ ඇතුළත් වාරණයට ලක්කළ අන්තර්ගතයන් පමණකි. උතුරු කොරියානු තොරතුරු තාක්ෂණ විශේෂඥයින් ඉහළ තාක්ෂණ සාක්ෂරතාවක් පෙන්නුම් කරයි.[24]
අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ කොරියානු කමිටුව (KCST) යනු එරට ජාතික අභ්‍යවකාශ නියෝජිතායතනයයි. මෙය පාලනය කරනු ලබන්නේ ජාතික ආරක්ෂක කොමිසම විසින් වන අතර, රාජ්‍ය විද්‍යා ඇකඩමිය සහ කාලතුවක්කු තාක්ෂණ මාර්ගෝපදේශක කාර්යාංශය වැනි වෙනත් ප්‍රධාන ආයතන හා සමගාමීව එය ක්‍රියාත්මක වේ.[25] 2010 වන විට, අභ්‍යවකාශ දියත් කිරීම් පහසුකම් ස්ථාන දෙකක් ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එනම් උතුරු හම්ග්යොං පළාතේ තොංහේ චන්ද්‍රිකා දියත් කිරීමේ භූමිය සහ උතුරු ප්යොන්ගන් පළාතේ තොංචෑං-දොං අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයයි. ක්වංම්යොංසොං-ගණයේ චන්ද්‍රිකා ඉහත පැරණි භූමියෙහි පෙක්තුසන් සහ උන්හා රොකට්ටු ආධාරයෙන් දියත් කෙරේ. නමුත් මෙතෙක් ඒ කිසිවක් සාර්ථක වී නැත.[26]
උතුරු කොරියාව නොයෙකුත් යුධ තාක්ෂණික ක්‍රම පිළිබඳව ද පර්යේෂණ සිදු කරයි. මේ අතර GPS අවහිරක,[27] රහසිගත තීන්ත,[28] කුරු සබ්මැරීන,[29] රසායනික, ජෛව සහ න්‍යෂ්ටික අවි,[30] පුද්ගල-නාශක ලේසර්[31] සහ ප්රක්ෂේපණ මිසයිල ද වේ.[32]
දකුණු කොරියාවේ විද්‍යාත්මක සහ තාක්ෂණික සංවර්ධනය මුලින් විශාල වශයෙන් සිදු නොවූයේ කොරියාව බෙදීම සහ නිදහස ලබා ගැනීමෙන් පසුව ඇතිවූ කොරියානු යුද්ධය හේතුවෙන් උද්ගත වූ ප්‍රතිඵල හේතුවෙනි. 1960 දශකයේ පාක් චුං-හීගේ ආඥාදායකත්වය යටතේ දකුණු කොරියාවේ ආර්ථිකය කාර්මීකරණය ඔස්සේ ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, සැම්සුං සහ LG වැනි චේබොල් සංස්ථා ද නිර්මාණය විය.
2008 වන විට, R&D නියමයන් අනුව දකුණු කොරියාව 5වන ඉහළම ස්ථානයේ පැවතිණි.[33] ඒස් ඉලෙක්ට්‍රොනික්ස්හි CEO වූ පාක් ක්යේ-ජුං 23වන නව නිමැවුම් සහ නව නිෂ්පාදනය ප්‍රදර්ශනයේ දී සිය මෝටර් සහ මෝටර්-සහිත ගියර සඳහා රන් සහ රිදී ත්‍යාග හිමි කරග්තතේ ය. ඔහු රන් පදක්කම හිමි කරගත්තේ ධාවනය වන මෝටර් රථයක ඇතිවන කම්පන විද්‍යුත් ශක්තිය බවට පරිනාමණය කළ හැකි උපංගයක් නිපදවීම හේතුවෙනි.[34] පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි පැවති INPEX ප්රරද්ශනයේ දී කොරියානු නිමැවුම් දහසයක් සම්මාන හිමි කරගත්තේ ය. මේ අතරට රන් ත්‍යාග සතරක්, රිදී තුනක් සම විශේෂ ත්‍යාග හයක් ඇතුළත් විය. පිට්ස්බර්ග් INPEX තරගාවලිය සඳහා රටවල් 20කින් නව නිර්මාණකරුවන් සහභාගී වූ අතර, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ එක්සත් ජනපදය සහ තවත් රටවල් 11ක තරගකරුවන් විසින් නිමැවුම් 160ක් ඉදිරිපත් කොට තිබිණි.[34]
සෝල් නුවර ලෝකයේ "ප්‍රධාන ඩිජිටල් නගරයක්" සහ "ලෝකයේ තාක්ෂණික අගනුවරක්" ලෙස සැලකේ.[35][36] දකුණු කොරියාව ලෝකයේ වඩාත්ම තාක්ෂණිකව දියුණු සහ ඩිජිටල් වශයෙන් සම්බන්ධිත රටවල් අතුරින් ද එකකි. OECD රටවල් අතුරින් තෙවැනියට විශාලතම පුළුල් කලාපීය (බ්‍රෝඩ්බෑන්ඩ්) අන්තර්ජාල පරිශීලකියන් සිටින රට ද වේ.[37] එසේම එය ඉලෙක්ට්‍රොනික උපාංග, ඩිජිටල් තිර, අර්ධසන්නායක උපාංග සහ ජංගම දුරකථන ක්ෂේත්රයේ ලෝක බලවතකු ද වේ.
නිල වශයෙන් අවමානයට ලක්කෙරුණු විද්‍යාඥයකු වන හ්වං වූ-සුක් විසින් මෙහෙයවන ලද ජෛව-ඉංජිනේරු පර්යේෂණ කණ්ඩායමක් විසින් 2002දී මියගිය සුනඛයකුගේ සජීවී ක්ලෝන තුනක් නිර්මාණය කරන ලදී.[38]
රුසියාව, ජපානය, තුර්කිය සහ වෙනත් රටවල්වල වෛද්‍යමය සහ කාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන විකිරණශීලී සමදර්ශ නිෂ්පාදන උපාංග ද කොරියාව විසින් අපනයනය කරනු ලබයි.[39]
කොරියාව සහ රුසියාව අතර අභ්‍යවකාශ තාක්සණය සම්බන්ධයෙන් සුහද මිත්‍රත්වයක් පවතී.[40] එසේම එමගින් ප්රවේක්ෂණ කැමරා අන්තර්ගත Arirang-1 සහ Arirang-2 ද දියත් කොට ඇත.
රොබෝ විද්‍යාව සැලකූ විට, KAIST ආයතනය සිය මානවරූපී රොබෝව වන HUBO සමගින් ජපන් සමාගමක් වන හොන්ඩා සමග තරග කරයි. හොන්ඩාහි ASIMO සහ KAISTහි HUBO යනු ඇවිදීමට හැති මානවරූපී රොබෝවන් අතලොස්ස අතුරින් දෙකකි.[41] පළමු HUBO සංවර්ධනය කරන ලද්දේ වසර 3ක පර්යේෂණ කටයුතුලින් පසු වන අතර, එයට ඇ.ඩො. මිලියන 1ක වියදමක් ද දැරීමට සිදු විය.[42]
විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ග්වංජු ආයතනයේ දකුණු කොරියානු විද්‍යාඥයින් සහ සැන්ටා බාබරාහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය අතර සහයෝගයෙන් දියත් කළ පර්යේෂණ මගින් කාබනික ප්රභාවෝල්ටීය ජව කෝෂයක් සාර්ථක අයුරින් නිමවා ඇති අතර, මෙහි ශක්ති කාර්යක්ෂමතා ප්‍රතිශතය 6.5කි.[43]
2013 අගෝස්තු මස ගෝලීය ස්මාර්ට්ෆෝන් භාවිතය පිළිබඳ අධ්‍යයනයක ප්‍රතිඵල මුදාහැරිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) පසුව දෙවන ඉහළම ප්‍රතිශතය සහිත රට දකුණු කොරියාවයි. එහි ප්‍රතිශතය ජනගහනයෙන් 73.0%කි.[44]
2013 පළමු අර්ධයේ එල්ලවූ සයිබර් ප්‍රහාරවලින් රජය, පුවත්-මාධ්‍ය, රූපවාහිනී ආයතන සහ බැංකු වෙබ්අඩවි අපහසුතාවයට ලක්වූ අතර, පසුව 2017 දී නව සයිබර් ආරක්ෂක විශේෂඥයින් 5,000කට පුහුණුව ලබාදෙන ලදී. මෙම සිදුවීම සහ 2009, 2011 සහ 2012 වර්ෂවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් දකුණු කොරියානු රජය සිය උතුරු අසල්වැසියාට චෝදනා කරයි. නමුත් ප්යොංග්යෑං රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.[45]
2013 සැප්තැම්බරයේ පසු කාලයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික බුද්ධි අංශ සේවාවේ සහයෝගීත්ව අනුග්‍රහයෙන් පැවැත්වුණු පරිගණක ආරක්ෂණ තරගයක් පිළිබඳ නිවේදනය කෙරිණි. 2013 සැප්තැම්බර් 29 දින ජයග්‍රාහකයන්ගේ නම් නිවේදනය කිරීමට යෝජිතව තිබිණි. එහිදී වොන් මිලියන 80ක (US$74,000) ත්‍යාග මුදලක් බෙදාහැරීමට නියමිත ය.[45]
වර්තමානය වන විට, පරිණත ජංගම වෙළඳපොලක් සහිත දකුණු කොරියාව තුළ තාක්ෂණික බාධක ඇත්තේ අවම වශයෙනි. දකුණු කොරියාව තුළ නව මාධ්‍ය හෝ ඇප් ක්‍රම, 4G සහ 5G අන්තර්ජාල යටිතල ක්‍රම ක්‍රියාත්මක වෙමින් පවතියි.[46]