![]() | |
![]() ශ්‍රී ලංකාව |
![]() එක්සත් ජනපද |
---|
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර අංශ ගණනාවකින් සම්බන්ධතා රාශියක් පවතියි. ශ්‍රී ලංකාව තුල අමෙරිකානු තානාපති කාර්යාලය කොළඹ[1] නගරය තුලත්, අමෙරිකාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වොෂිංටන් ඩී සී[2] හීත්, ස්ථාපනය කොට තිබෙයි. මිෂෙල් ජේ. සූසන්[3] ශ්‍රී ලංකාවේ වර්ථමාන අමෙරිකානු තානාපති වේ .
2005 වර්ෂයේදී බීබීසී ලෝක සේවය විසින් පැවැත්වූ මත විමසුමකට අනූව, 30% ක් වූ ශ්‍රී ලාංකික ජනතාව, ශ්‍රී ලංකාව කෙරෙහි අමෙරිකානු බලපෑම යහපත් ලෙස දකින අතර, 20% ක් පිරිස එය අයහපත් ලෙස දකියි.[4] 2012 එක්සත් ජනපද ලෝක නායකත්ව වාර්ථාවට (Global Leadership Report) අනූව, 14% වූ ලාංකිකයින් අමෙරිකානු නායකත්වය අගයන අතර, 37% ක් වූ පිරිසක් එය පිළි නොගනී. 49% ක පිරිසක් නිශ්චිත අදහසක් නොදක්වයි.[5]
අමෙරිකාව නිරතුරුවම, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ මධ්‍යස්ථ වූ විදේශ ප්‍රතිපත්ති අගයන[තහවුරු කර නොමැත] අතර ශ්‍රී ලංකාවේ එකමුතු බව, භෞමික අඛණ්ඩතාව සහ සාමාජයීය සංවර්ධනය පවත්වාගෙන යාමට සහයෝගය දක්වන බවද පවසයි.
1948 දී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු අමෙරිකාව, ඩොලර් බිලියන 1.6 කට වඩා ආධාර (ණය සහ ප්‍රදාන) ශ්‍රී ලංකාවට ලබාදී ඇත. අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය හරහා (USAID), ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට, විරැකියාව අඩු කිරීමට, නිවාස සංවර්ධනයට, කොළඹ කොටස් වෙළඳපොල සංවර්ධනයට, අධිකරණ පද්ධතිය නවීකරණයට සහ ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහල නැංවීමට, අමෙරිකාව ආධාර සපයයි. 2004 දෙසැම්බර්, ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයෙන් බැට කෑ අවස්ථාවේදී ද අමෙරිකානු රජය ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 135 ක පමණ සහනාධාර ලබා දෙන ලදී.
මීට අමතරව, අමෙරිකානු අන්තර්ජාතික සම්ප්‍රේෂණ කාර්යාංශය ((International Broadcast Bureau) (IBB)) ශ්‍රී ලංකාවේ හලාවත තුල ගුවන් විදුලි සම්ප්‍රේෂණ කාර්යාලයක් පවත්වා ගෙන යයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුධ සමයේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන්ට එරෙහිව අමෙරිකාව කටයුතු කල අතර වර්ථමානයේදී ද අමෙරිකානු හමුදාව සහ ශ්‍රී ලංකා හමුදාව, සීමාසහිත වූ ආරක්ෂක සම්බන්දතා පවත්වා ගනියි.
ශ්‍රී ලංකාවේ අවසන් යුධ සමයේදී රජයේ හමුදාව විසින් යුධ අපරාධ සිදු කල බවට චෝදනා එල්ල කරමින් අමෙරිකාව, 2012 සහ 2013 යන වසර වලදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මාර්තු මස පවත්වන මානව හිමිකම් සමුළුවෙදී මතභේදාත්මක ලෙස යෝජනා දෙකක් සම්මත කර ගන්නා ලදී.[6][7]
මීට අමතරව 2014 වසරේ මාර්තු මානව හිමිකම් සැසියේදීද, ශ්‍රී ලංකාව තුල සිදුවූවා යැයි කියන යුධ අපරාධ සිදුවීම් විමර්ශනයට ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් පරීක්ෂණයක් සිදු කල යුතු බවට යෝජනාවක් ඇමෙරිකාව විසින් නැවත වතාවක් මතභේදාත්මක ලෙස සම්මත කර ගන්නා ලදී.[8]