ඒබ්‍රහම් තෝමස් කොවූර් | |
---|---|
ගොනුව:Kovoor4.jpg | |
උපත | අප්‍රේල් 10, 1898 තිරුවල්ලා, ට්රැවන්කෝර්, කේරල, ![]() |
විපත | සැප්තැම්බර් 18, 1978 කොළඹ, ![]() |
වෘත්තිය | ගුරු වෘත්තිය |
වල්ලභයා | අක්කා කොවූර් |
ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කොවූර් (අප්‍රේල් 10, 1898 – සැප්තැම්බර් 18, 1978) යනු තම වෘත්තියෙන් විශ්‍රාම යාමෙන් අනතුරු ව, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දේව පුත්‍රයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ සහ වෙනත් අවිද්‍යාත්මක මිත්‍යාවන්ගේ ප්රයෝගයන් ලෝකයට අනාවරණය කිරීමේ ව්‍යාපාරය නිසා ප්‍රසිද්ධියට පත් වූ හේතු වාදියෙකි. අධ්‍යාත්මික මිත්‍යාවන් සහ සංවිධානාත්මක ආගම් පිළිබඳ ඔහුගේ ඍජු, එමෙන්ම ඇනුම්පද සහිත වූ විවේචන, ශ්රාවකයා ඉතා උද්යෝගයෙන් යුතු ව පිළිගැනීම, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ හේතුවාදී සංගම්වල නව ප්රබෝධයක් ඇති කිරීමට ප්‍රබල හේතුවක් විය.[1]
කේරළයේ තිරුවල්ලා හි කොවූර් උපත ලැබුවේ මලබාර් හි මාර්තොම්මා සිරියානු පල්ලියේ ප්‍රාදේශීය දේවගැති පූජ්‍ය කොවූර් අයිපේ තොම්මා කට්ඨානර් (Kovoor Eipe Thomma Katthanar)[2] ගේ දෙවන විවාහයේ පුත්‍රයා ලෙස යි. තිරුවල්ලා හි ක්‍රිස්තියානි පාසලේ මූලික අධ්‍යාපනය අවසන් කළ ඔහු කල්කටාවේ බංගබාසි විද්‍යාලයට ඇතුලත් ව තෘණ විද්‍යාව සහ සත්ව විද්‍යාව විෂයයන්ගෙන් උපාධිය සමත් වූවේ ය.[3]
1925 වසරේ දී, ඉන්දියාවේ ට්රැවන්කෝර් අධිකරණයේ විනිසුරු කේ. එම්. ඉටි මහතාගේ වැඩිමහල් දියණිය වූ අක්කා මෙනවිය සමග කොවූර් විවාහ වූවේ ය. ඇය ද ඔහු මෙන් ම දෙවියන් සහ භූතයින් නොඇදහූ කාන්තාවකි. දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ ඈ ශ්‍රී ලංකාවේ හේතුවාදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ද, වූවා ය. කොවූර් ගේ පුතු එරිස් කොවූර් ප්‍රංශ ජාතික ජැකලීන් සමග විවාහ වූ අතර 2006 දී ඔහු මිය ගියේ ය.
උපාධිය ලැබීමෙන් අනතුරු ව කොවූර්, තෘණ විද්‍යාව පිළිබඳ සහාකාර කථිකාචාර්යවරයෙකු ලෙස කෙටි කලක් කොට්ටාගම් හි සී. එම්. එස්. විද්‍යාලයේ සේවය කළේය. තවත් ඔහු වැනිම තෘණ විද්‍යාඥයකු වූ එවකට යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ පූජ්‍ය පී. ටී. කෑෂ් පියතුමා ගේ ආරාධනයෙන් කොවූර් එම විද්‍යාලයේ ඉගැන්වීමට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූයේ ය. එතැන් පටන් ඔහු ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවකු වූයේ ය. කෑෂ් පියතුමා විශ්‍රාම ගන්නා තුරු වසර 15 ක් පමණ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගැන්වීමෙහි යෙදුණු හෙතෙම අනතුරු ව 1943 දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටත්, ඉන්පසු 1947 දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයටත් බැඳී සේවය කළේ ය. අනතුරු ව 1953 වසරේ සිට 1959 වසරේ දී ඔහු විශ්‍රාම යනතුරු ම, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය.[3]
විශ්‍රාමිකයෙකු වූ පසු කොවූර් තම ජීවිත කාලය කැප කළේ හේතුවාදීන්ගේ සංගමය වෙනුවෙනි. ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය ගොඩනැංවීමට මහත් පරිශ්‍රමයක් දැරූ හේ 1960 වසරේ දී එහි සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු 1978 වසරේ දී පිළිකාවක් වැළඳී මිය යන තුරු ම එම තනතුර හෙබවූයේ ය. The Ceylon Rationalist Ambassador යන වාර්ෂික සඟරාව ඔහු විසින් සංස්කරණය කරන ලද්දකි. 1961 වසරේ දී ඔහු යුරෝපයේ සංචාරය කළ අතර නිදහස් චින්තකයන්ගේ ලෝක සංවිධානය සමග සම්බන්ධතා ඇති කර ගත්තේ ය. නාර්සීසස් (Narcissus) නම් අන්වර්ත නාමයකින්, මිත්‍යා විශ්වාසවලට එරෙහි ව පුවත්පත් සහ සඟරාවලට ලිපි ලිවීමට කොවූර් කටයුතු කළේ ය. මෙම ලිපි ජෝෂප් ඒදමරුකු විසින් මලයාලම් බසට පරිවර්තනය කොට පල කරන ලද අතර පසු කාලීන ව ඉන්දියාවේ අනෙකුත් භාෂාවන්ට ද සිංහල බසට ද පරිවර්තනය විය. (නාර්සීසස් යන අන්වර්ත නාමයෙන් නොවේ.)
1960 සහ 1970 කාලයන් තුළ ඔහු විවිධ රැස්වීම් ඇමතීම සඳහා කිහිපවරක් ම ඉන්දියාවට සංචාරය කළේ ය. විද්‍යාත්මක පිවිසුමකින් යුක්ත වූත් විවේචනාත්මක වූත්, ඔහුගේ ප්‍රබෝධමත් දේශන සහ චතුර කතිකත්වය ඉන්දියාවේ ගම් දනව්වල වැසියන්ට ඉන්ද්‍රජාල මෙන් විය. ඉන්දියානු හේතුවාදීන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ආශ්චර්යයන් හෙළිදරව් කිරීමේ දේශන හතරකදී ඔහු ප්‍රසිද්ධියේ දේව පුත්‍රයන්ට අභියෝග කරමින් ඔවුන්ගේ ආශ්චර්යයන් ලොවට අනාවරණය කළේ ය. 1976 දී ඔහු ඉන්දියවේ කළ අවසන් සංචාරයේ දී තමන් දේව පුත්‍රයකු යැයි හඳුන්වාගන්නා සායි බාබාගේ ආශ්රමයට ගිය ඔහු ප්‍රසිද්ධියේ ඔහුට අභියෝග කළේ ය. ඒ, තමන් පෙන්වන ශ්‍රී ලංකාවේ රුපියල් දෙකේ නෝට්ටුවක් දේව හාස්කම් බලයෙන් මවා පෙන්වන ලෙස යි. සායි බාබා එය පිළිගැනීමට හෝ කොවූර් මුණ ගැසීමට හෝ නොපැමිණියේ ය.[3]
"භෞතිකවාදී පල්ලියෙහි" දේවධර්මය පිළිබඳ වූ පූජ්‍ය විද්‍යාලයක් යැයි කියා ගන්නා අප්‍රකට ආයතනයක් වූ (දැනට අක්‍රීය ව පවතින) ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා දර්ශන විද්‍යායතනය විසින් කොවූර් ගේ මානසික සහ අධිමානසික ශක්තීන් පිළිබඳ කෘතිය වෙනුවෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම මතභේදයට තුඩුදුන්නේ ය. කෙසේ වෙතත් කොවූර් කිසි දිනෙක ඇමරිකා එක්සත් ජනපදයට සංචාරය නොකළ අතර වංචනිකයන් විසින් භාවිතා කරනු ලබන ව්‍යාජ ඩිප්ලෝමා සහ උපාධි පිළිබඳ තදබල විවේචන හේතුවෙන් ඔහු තම ගෞරව ආචාර්ය උපාධිය නැවත ලබා දුන්නේ ය.
1978 සැප්තැම්බර් 18 දින කොවූර් මිය ගියේ ය. "මම මරණයට හෝ මරණයෙන් පසු ජීවිතයට බිය නොවෙමි" යනුවෙන් ඔහු තම අවසන් කැමැත්තෙහි සටහන් කර තිබුණි. තමන් ව භුමදානය නොකරන ලෙස ද කොවූර් එහි දී ඉල්ලා තිබුණි. ඔහු තම දෑස් අක්ෂි බැංකුවට පරිත්‍යාග කළේ ය. ඔහුගේ මෘත ශරීරය ව්‍යවච්ඡේදක අධ්‍යයනයන් සඳහා වෛද්‍ය විද්‍යාලයට ත් පසු ව ඇටසැකිල්ල තර්ස්ටන් විද්‍යාලයීය විද්‍යාගාරයට ත් ලබා දෙන ලෙස ඔහු කාලෝ ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා තිබුණි. මෙම ඉල්ලීම් සියල්ල ඒ අයුරින් ම ඉටු කෙරිණ.
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පුත්තපාර්ති හි සත්‍ය සායි බාබා, කොවූර්ගේ, ආශ්චර්යන් හෙළිදරවු කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් විය. කොවූර්ගේ කාලයේ මෙන්ම, 2011 අප්‍රේල් 24 දින මිය යන තුරු ම ඉන්දියාවේ චිරප්රසිද්ධ දේව පුත්‍රයා වූයේ සායි බාබා ය. සායි බාබාට දිව්‍යමය බලයකින් විභූති නම් පූජනීය අළු මවා පෙන්වීම ඇතුළු ආශ්චර්යයන් රැසක් කළ හැකි බවට පතළ ව තිබුණි. මෙය බාබා විසින් අතින් කරනු ලබන ව්‍යාජ මවාපෑමක් බව කොවූර් තදින් ම විශ්වාස කළේ ය. බොහෝ ඉන්දියානුවෝ මෙවැනි ප්රයෝගකාරී ආශ්චර්යයන් දැක බලා ගැනීම සඳහා දේව පුත්‍රයන් යැයි කියා ගන්නා මිනිසුන්ගේ ආශ්‍රම වටා රැස්කමින් සිටියහ. සායි බාබා ගේ සහ අනෙකුත් වංචනිකයන්ගේ ප්‍රයෝග හෙළි කිරීම සඳහා කොවූර් ද අළු මවා ප්‍රේක්ෂක ජනයා වෙත බෙදා දුන්නේ ය. අනතුරු ව ඔහු එය තමා විසින් අතින් කළ ව්‍යාජ මවාපෑමක් බව ත්, හොඳ පුහුණුවකින් පසු ඕනෑම අයෙකුට එම දුෂ්කර කාර්යය කළ හැකි බව ත්, පවසා එය කරන අයුරු ප්‍රේක්ෂකයාට ආදර්ශනය කළේ ය.
සායි බාබාගේ ආශ්චර්යමත් බලයන් පිළිබඳ ව සාකාච්ඡා කිරීම සඳහා ඔහුව හමු වීමට අවැසි බව සඳහන් කරමින් කොවූර් දිගින් දිගටම බාබා වෙත ලිපි යැව්වේ ය. කිසිඳු ප්‍රතිචාරයක් නොලැබූ කල බැංගලෝරයේ වයිට් ෆීල්ඩ් හි සායි බාබාගේ ආශ්රමයට තමන් පැමිණෙන බව කොවූර් දන්වා යැව්වේ ය. කොවූර් එහි යන විට සායි බාබා පුත්තපාර්ති හි ඔහුගේ අනෙක් ආශ්රමයට පලා ගොස් ඇත.
කොවූර් කාර්යශූර මෝහන චිකිත්සකයකු මෙන් ම ප්‍රායෝගික මනෝ විද්‍යාඥයකු ද වූවේ ය."පුනර්ජන්මම්" (1972) නම් ප්‍රකට මලයාලම් විත්රපටය ද, "මරුපිරවි" (1973) නම් දමිළ චිත්‍රපටය ද, "නින්තකාත" නම් තෙළිඟු චිත්‍රපටය ද කොවූර් ගේ විෂයීය අධ්‍යයනයන් ඇසුරින් නිර්මාණය කරන ලද නිර්මාණ වේ.
භාරතීය යුක්තිවාදී සංගමය විසින් කොවූර් ට ගරු කිරීමක් වශයෙන් කලාකරුවන් වෙත පිදෙන සම්මානයක් ඒ. ටී. කොවූර් සම්මානය ලෙස නම් කර ඇත. පළමු වරට, දමිල සිනමාවේ ඉතිහාසගත කලාකරුවකු වන කමල් හසන්, ඔහුගේ මානව හිතවාදී ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කොවූර් සම්මානය දිනාගත්තේ ය.
තමන් සතුව අධ්‍යාත්මික බලයන් ඇතැයි කියා ගත් නොයෙක් දේව පුත්‍රයන්, දෛවඥයන් සහ අනෙකුත් පුද්ගලයන් බොහෝ වාර ගණනක් මුණ ගැසීමෙන් අනතුරුව, ඔවුන්ගේ ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි කොවූර්ට පැහැදිලි විය. කොවූර් ප්‍රකාශ කළේ, "අද්භූත බලවේගයන් සහිත තැනැත්තකු මෙලොව සිටියේ ද සිටින්නේ ද නැත. එවන් බලවේගයන් පවතිනුයේ ආගමික ලියවිලිවල සහ හැඟීම් වෙළඳාමේ යෙදෙන පුවත්පත්වල පිටු අතරේ පමණි." යනුවෙනි. අධ්‍යාත්මික බලයන් සතුවන බව පැවසූ එවැනි පුද්ගලයන් පිළිබඳ ඔහු විසින් සම්පාදිත Begone Godmen සහ Gods, Demons and Spirits යන කෘති තවමත් ඉන්දියාවේ වැඩිම අලෙවියක් ඇති ග්රන්ථ යි.
2008 වසරේ දී පන්ජාබි ප්‍රධාන අමාත්‍යවරයා වූ ප්‍රකාශ් සිං බදාල් විසින් කොවූර්ගේ ප්‍රකට කෘතිය වූ 'God, Demons and Spirits',ග්‍රන්ථයේ පන්ජාබ් පරිවර්තනය තහනම් කරන ලදී.[4]
ආශ්චර්යවත් බලවේගයන් විශ්වාස කටයුතු ලෙස තමන් ඉදිරියේ සිදු කර පෙන්විය හැකි ඕනෑම අයකුට රු. 100,000 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව 1963 දී කොවූර් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේ ය. දේව පුත්‍රයන් විසින් හෝ බටහිර ගුප්ත විශේෂයන් විසින් හෝ යූර් ගෙලර්, ජේන් ඩික්සන් වැනි මායා සංදර්ශකයන්ට ද කොවූර් අභියෝග කලේ එම කාර්යයන් 23 න් එකක් තමා ඉදිරියේ විශ්වාස කටයුතු ලෙස කර පෙන්වා රු. 100,000 දිනා ගන්නා ලෙස යි. ඇතැම් පුද්ගලයෝ ප්‍රසිද්ධියේ දී අභියෝගය පිළිගැනීමට ඉදිරිපත් වී ආරම්භක තැන්පතු මුදල වන රුපියල් දහස ද අහිමි කර ගත් හ.
1978 වසරේ දී කොවූර් මිය යාමෙන් අනතුරු ව ද ඉන්දීය හේතුවාදී සංගමය රු.100,000 අභියෝගය තවදුරට ත් ක්‍රියාත්මක කර ගෙන යන අතර තවමත් රු. 100,000 සුරැකි ව පවතී. බසාවා ප්රේමනාන්ද් සහ ජේම්ස් රන්දි වැන්නවුන් ද මෙවැනි ම අභියෝග පසුකාලීනව ඉදිරිපත් කරන ලදී.
දේවපුත්‍රයන්, ශුද්ධවන්තයන්, ස්වාමිවරුන්, යෝගීන් මෙන් ම අන් ඕනෑම අයකුට තමා සතු ව ඇතැයි කියන දේව බලයෙන් හෝ මානසික ශක්තීන් මගින් හෝ පහත දැක්වෙන අද්භූත ජනක දේවල්වලින් එකක් කර පෙන්නුවොත් මේ ත්‍යාගය ලැබිය හැකි ය.
ශ්‍රී සත්‍ය සායි බාබා, පද්රිමලායි ස්වාමිගල්, නීලකාන්ත තඨාජි, නිර්මලා දේවි ශ්රීවාස්ත,පූජ්‍ය දදාජි, දත්තාබල්, ත්රිප්යාර් යෝගිනී, තිරුදේව් ආනන්ද මූර්ති තිරුදේව් ආනන්දමූර්ති, කාමුබායි, චින්මයානන්ද්, ආචාර්ය රාජ්නේෂ්, මුක්තානන්ද්, ස්වාමිරාමා, ස්වාමි හරිදාස්, ශිවබාලයෝගී, භාගවන් ඥානානන්ද, ගුරු මහරාජ්, මහාඍෂි මහේෂ් යෝගී, හසාරත් අලි, ආචාර්ය වද්ලායිමුදි, සී. එස්. තීර්තන්කර්, ආර්. පී. තිවාරි, යූරි ගෙලර්, නෙලියා මිචෙයිලෝවා, ජේන් ඩික්සන්, සිබිල් ලීක්, ඉන්දියාවේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය සහ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරුන්, සහ අනේක විධ ගුරු, ස්වාමි, මහන්තා, ආචාර්ය, අන්දා, බාබා, භාගවන් යැයි කියා ගනිමින් බටහිර රටවල ධනවත් මුග්ධයන් ගොදුරු කර ගන්නා පුද්ගලයන් යන සියළුම දෙනාට මා ගෞරවයෙන් ආරාධනා කරනුයේ මෙම අභියෝගය භාර ගෙන මා වැනි හේතුවාදීන්ට තමන් වංචාකරුවන් නොවන බව ඔප්පු කරන ලෙස යි.
1977 අගෝස්තු 14 වන දා , "Is There Life After Death? (මරණයට පසු ජීවිතයක් තිබේ ද?)" යන මාතෘකාවෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේහි කොවූර් ලිපියක් පල කළේ ය. එම ලිපියෙහි කොවූර් සඳහන් කර ඇත්තේ ජීවය වනාහි සංකීර්ණ රසායනික ක්‍රියාවලියක් බව ත් ආත්මය යනුවෙන් කිසිවක් නොමැති බව ත් ඒ නිසා මරණයෙන් පසු ව ආත්මයක් තිබිය නොහැකි බව ත් ය. මෙම ලිපිය, සන්ඩේ ටයිම්ස් පුවත්පත හරහා මෙන්ම හංසදත්තා ස්වාමි හා කොවූර් අතර ලිපි හුවමාරුවීම් හරහා උණුසුම් විවාදයකට මුල පිරුවේ ය. රසායනික ද්‍රව්‍ය මගින් මදුරුවකු හෝ මකුළුවකු වැනි ජීවියකු නිර්මාණය කරන ලෙස හංසදත්තා ස්වාමි රු. 500,000 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව පවසමින් කොවූර්ට අභියෝග කළේ ය.[5]
කෙසේ වෙතත්, කොවූර්ගේ ආරම්භක ලිපි හංසදත්තා ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූවේ ය.[6]
සරසවියෙහි ඉගෙන ගන්නා කාලයේ පටන් ම මිත්‍යා මත බිඳ හෙළීමට කොවූර් දැඩි වෙහෙසක් ගත්තේ ය. යෝගීන් විසින් මන්ත්‍ර බලයෙන් කරන බව පවසන විජ්ජාවන් ඔහු කිසිඳු මැතිරීමකින් තොරව විද්‍යාත්මක සංසිද්ධි සහ අතින් කරන මවාපෑම් තුළින් කර පෙන්වීමට දක්ෂතාවක් දැක්වූයේ ය. දැල්වෙන කපුරු දිව මත තබා ගැනීම, තත්පර කිහිපයකට නාඩි වැටීම නැවැත්වීම, උණු තෙල් තාච්චියකට අත දැමීම, පොල් කටු මත කවඩි තබා දියරයක් වත් කොට කවඩි චලනය වන අයුරු පෙන්වීම, ගිණී පෑගීම, ගිණි පන්දමක් මුව තුළ තබා ගනෙ සිටීම වැනි ක්‍රියා ඊට ඇතුලත් වේ.
මිත්‍යා මත බිඳ දැමීම ත්, විජ්ජාවන් පෙන්වා අහිංසක ජනතාවගෙන් මුදල් ගරාගැනීම නැවතීම ත්, නිසා කොවූර් ට විවිධ තර්ජන ගර්ජන පැමිණියේ ය. ඔහුගේ පඹයන් සාදා පුළුස්සනු ලැබූවේ වරක් දෙවරක් නොවේ. සමහර විටෙක අසැබි වචනයෙන් ඇමතූ ලිපි ද ඔහුට ලැබුණි. ඔහු මරා දමන බව පවසමින් මතුරන ලද තඹ සුරක් ද ඔහු වෙත එවන ලදී. අසාමාන්‍ය පුද්ගලයකු වූ ඔහු එය කොට්ටය යටම තබා ගෙන නිදා ගත්තේ ය. එමගින් කිසිඳු හානියක් නොවූ බව ඔහු තම දේශනවලදී ඒවා ඉදිරිපත් කරමින් ජනතාවට කරුණු පැහැදිලි කර දුන්නේ ය. ඔහු තම බිරිඳ ද සමග හොල්මන් ඇල්ලීම සඳහා මධ්‍යම රාත්‍රියේ සොහොන්පිටිවල ගත කළ වාර ගණන අනන්ත ය.
කොවූර් තම දිවියේ සෑම වැදගත් කටයුත්තක් ම ඇරඹුවේ සාමාන්‍ය ජනයා අශුභ යැයි පැවසූ වෙලාවන් වලදී ය. ඔහු තම නිවසට මුල් ගල තැබූවේ ත් එවැනි මොහොතක ය. නිවස සෑදීමේ දී වළලනු ලැබුවේ පූජා ද්‍රව්‍ය අඩංගු පෙට්ටියක් නොව මිනී අළු වැනි දෑ අඩංගු පෙට්ටියකි. ඔහු සෑම විට ම නිවසින් පිට වූයේ වම් පය පෙරට තබා ය.
පරිනාමවාදය පිළිබඳ අප දැනුමේ හිස්තැන් පිරවීමේ අරමුණ ඇති ව ඉන්දියන් සාගරයෙන් ජීවින් එකතු කිරීම සඳහා වූ හේකල් ගවේෂණ විද්‍යාඥයන් කණ්ඩායමට බැඳෙන ලෙස එක්සත් ජනපදයේ අර්නස්ට් හේකල් පරිසර විද්‍යා මධ්‍යස්ථානය විසින් ආරාධනා කරනු ලැබූ එක ම ආසියාතිකයා ඒබ්‍රහම් ටී. කොවූර් වේ. තම බිරිඳගේ අසනීප තත්ත්වය සහ මරණය නිසා එම ආරාධනාව පිළිගැනීමට ඔහුට නොහැකි විය.
ට්‍රොම්බේ හි පරමාණු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඉන්දියානු හේතුවාදී සංගමය විසින් යෝජනා කරන ලද පරිදි ඉන්දියාවේ විශ්වවිද්‍යාල ගණනාවක් සහ විද්‍යා සංගම් රාශියක් ම විසින් ජාත්‍යන්තර සහයෝගය සඳහා වූ ජවහර්ලාල් නේරු ත්‍යාගය සඳහා ඔහුගේ නම ඉදිරිපත් කොට ඇත.
යුනෙස්කෝව සහ පොදු වෙළඳ හවුලේ පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව ද විසින් ලෝකයේ විවිධ රටවල ගෝත්‍රික ජනතාව ත්, ඔවුන්ගේ සංස්කෘතිය ත් රැක ගැනීම සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ භාරකාර මණ්ඩලයේ සාමාජිකත්වය ලැබූ එක ම ආසියාතිකයා ද ඔහු ය. බොහෝ රටවල ලෝක සම්මන්ත්රණයන් හි කොවූර් දේශන පවත්වා ඇත. ඔහුගේ ගවේශණ ග්රන්ථ බොහෝ රටවල පළ වී ඇත. කොවූර් ගේ ග්රන්ථ හා ලේඛන ඇසුරින් වේදිකා නාට්‍ය, චිත්‍රපට වැනි නිර්මාණ ද බිහි වී තිබේ.
මරණයට පෙර ඔහු කල ඉල්ලීම පරිදි ඔහුගේ ඇට සැකිල්ල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා තර්ස්ටන් විද්‍යාලයීය ජීව විද්‍යාගාරයට බාරදෙන ලදි. අදටත් ඇට සැකිල්ල එහි දක්නට ලැබේ.