ගෞතමීපුත්‍ර සාතකර්ණි | |
---|---|
![]() චිත්‍රපටයේ පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | ක්‍රිෂ් |
රචනය | සායි බාධව් බුරා (දෙබස්) |
තිර රචනය | ක්‍රිෂ් |
නිශ්පාදනය | වයි. රජීව් රෙඩ්ඩි ජගර්ලාමුණ්ඩි සායිබාබු බිබෝ ශ්‍රීනිවාස් (ඉදිරිපත් කරන්නා) |
රංගන ශිල්පීන් | නන්දමුරි බාලක්‍රිෂ්ණා ශ්‍රියා සරන් හේමා මාලිනී |
සිනෙමාරූපණය | ඥාන ශේකර් වී. එස්. |
සංස්කරණය | සුරාජ් ජග්තප් රාම ක්‍රිෂ්ණා අරාම් |
සංගීතය | චිරන්තන් භාට් |
නිෂ්පාදන company | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනි. 158 |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
පිරිවැය | ඉන්දියානු රුපියල් කෝටි 45[2] |
ආදායම | ඇස්ත. ඉන්දියානු රුපියල් කෝටි 78.60[3] |
ගෞතමීපුත්‍ර සාතකර්ණි යනුවෙන් හැඳින්වෙන්නේ 2017 තෙලිඟු වීරකථා ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ වයි. රජීව් රෙඩ්ඩි සහ ජගර්ලාමුණ්ඩි සායිබාබු විසින් ෆස්ට් ෆ්‍රේම් එන්ටර්ටේන්මන්ට් සන්නාමය යටතේ ය.[4] මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ක්‍රිෂ් විසිනි.[5] මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නන්දමුරි බාලක්‍රිෂ්ණා සහ ශ්‍රියා සරන් විසිනි. හේමා මාලිනී විසින් සහාය චරිතයක් නිරූපණය කරනු ලබයි. චිත්‍රපටයේ සංගීත කිර්මාණය සිදුකරන ලද්දේ චිරන්තන් භාට් විසිනි. ගෞතමීපුත්‍ර සාතකර්ණි සඳහා පාදක වී ඇත්තේ ක්‍රි.ව. 2වන සියවසේ සාතවාහන පාලකයකු වූ ගෞතමීපුත්‍ර සාතකර්ණි රජුගේ ජීවිත කථාවයි.[6][7] මෙම චිත්‍රපටය නන්දමුරි බාලක්‍රිෂ්ණාගේ 100වන චිත්‍රපටය ද විය.[8]
ගෞතමීපුත්‍ර සාතකර්ණි (නන්දමුරි බාලක්‍රිෂ්ණා) ක්‍රි.ව. 2වන සියවසේ අමරාවතී නුවර සාතවාහන පාලකයායි. ළමාවියේ සිටම ඔහු සිහින මවන්නේ දේශයෙහි රාජධානි 32 එක්සත් කොට සාමය ස්ථාපිත කිරීමටයි. සිය මව වන ගෞතමී බාලශ්‍රී (හේමා මාලිනී) හට ප්‍රතිඥා ලබාදෙන ඔහු 18වන වියේ දී සිය මෙහෙයුම ආරම්භ කරයි. ඔහු අතරමගදී හමුවන රජවරුන්ට ලබාදෙන්නේ විකල්ප දෙකකි. එනම් සිය අසිපත් තමන්ට භාරදී සාමකාමීව යටත් වීම හෝ තමන් සමග යුධ වැදීම යන්නයි. ඔහුගේ අරමුණු ඉටු කරගැනීමට වසර 18ක් ගත වේ. ඔහු සම්පූර්ණ දකුණු ඉන්දියාවම සිය පාලනයට නතු කරගැනීමට සමත් වේ. කාලයත් සමග සාතකර්ණී වාශිෂ්ඨි දේවි (ශ්‍රියා සරන්) සමග විවාහ වේ. ඔවුනට පුලමාවී (ස්නේහිත් චෞධරි) නම් පුත්‍රයකු වේ.
බටහිර ක්ෂත්‍රපයන්ගේ වැදගත් රජකු වූ නාහපාන (කබීර් බේඩි) ඉතා බලවත් සහ කටි රජකු විය. ඔහු සිය වැඩවසම් රාජ්‍යවල සියලු කුමාරවරුන් සිය ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා ගනිමින් සිය ආඥාවන්ට ගරුකළ යුතු බවට ඔවුන් බලකරයි. මෙලෙසින් ඔහු සිව්දෙසින්ම සිය රාජධානිය ආරක්ෂා කරගනියි. මේ නිසා සාතකර්ණිට සිය අරමුණ කරා ළඟාවීමට තිබූ අවසන් සහ අපහසුම බාධකය වූයේ නාහපාන වෙත ළඟා වීමයි. මේ නිසා උපායයක් යොදන ඔහු සිය පුත්‍රයා වන පුලමාවී තමන් සමග යුධ භූමියට රැගෙන යයි. නමුත් වාශිෂ්ඨි එයට එකඟ නොවන්නී ය. අනෙක් අතින් ඩිමෙට්‍රියස් (ඩේවිඩ් මනුචරොව්) ග්‍රීක අධිරාජයා ඉන්දියාව ආක්‍රමණයට දේශසීමාව අසල රැක සිටියි. ඔහු සාතකර්ණි සහ නාහපාන අතර සටනේ ප්‍රතිඵලය දෙස බලා සිටියි. මේ අතර, නාහපානගේ රාජධානිය වෙත සිය පුත්‍රයා සමග ගමන් කරන සාතකර්ණි සියලු වැඩවසම් රජවරුනට ඔවුන්ගේ දරුවන් ආරක්ෂිතව යළි රැගෙන එන බවට පොරොන්දු වෙයි. අවසානයේ නාහපානගේ බලකොටුවට ඇතුළු වන ඔහු නාහපානව විනාශ කරයි. කුමාරවරුන් ආරක්ෂා කරන ඔහු සිය දේශය එක කොඩියක සෙවණට ගෙන එයි.
සාතකර්ණී ඉන්දියානු පාලකයින් 32 දෙනාගේ අසිපත් රැගෙන අමරාවතී වෙත පැමිණෙයි. ඔහුගේ මෑණියන් වන ගෞතමී බාලශ්‍රී ඔහුට එම අසිපත් 32 දිය කොට බලවත් අසිපතක් තනන මෙන් පවසයි. සැමදෙනාම ඔහුව පිළිග්නනේ ඉමහත් ප්‍රීතියෙනි. නමුත් ඔහුගේ බිසව වන වාශිෂ්ඨී ඔහුගේ මේ ඒකාධිපති මානසිකත්වය නුරුස්සන්නී දරුවන් සමග ඔහුව අත්හැර යාමට තීරණය කරන්නී ය. නමුත් මේ වනවිට ඔහු විසින් රාජසුය යාගය ඉටු කරමින් සිටියි. මෙය පොළොවේ සෙසු රජවරුන් පරාජය කොට ඇති රජකු මුළු ලොවම පාලනයට සුදුසු බව පෙන්වන යාගයයි. නමුත් මෙය ඉටු කිරීමට බිසව සිටය යුතුම වේ. මේ නිසා සිය නැන්දණියගේ ඉල්ලීම අනුව වාශිෂ්ඨී මෙම චාරිත්‍රය සම්පූර්ණ කරන තෙක් සිටීමට තීරණය කරයි. මෙම යාගයේ දී අධිරාජයා රාජධානියේ උසස්ම පුද්ගලයා හට අග්‍ර පූජානම් විශේෂ ගෞරවය පුදකළ යුතු වේ. මේ නිසා සාතකර්ණි එම ගෞරව පදවිය සිය මෑණියන්ට පිරිනමන්නේ කාන්තාවන්ට ලබාදිය හැකි උසස්ම පිළිගැනීම ලබාදෙමිනි. එදින සිට ඔහු සිය නාමය ගෞතමීපුත්‍ර සාතකර්ණි ලෙස වෙනස් කරගනියි. එසේම සිය පුතායගේ නම ද වාශිෂ්ඨීපුත්‍ර පුලමාවි ලෙස වෙනස් කරයි. මෙහි දී වාශිෂ්ඨී සිය සැමියාගේ උදාරත්වය වටහා ගනියි. රදින සිට සාතකර්ණි විසින් සාලිවාහන සක නම් යුගයක් ආරම්භ කරන අතර, ආරම්භක දිනය උගාඩි ලෙස නම් කෙරේ. එම රාත්‍රියේ දී ඔහුගේ යටත් රජකු වූ කාන්ජිරා (මිලින්ද් ගුණාජි) ඩිමෙටියස් සමග සම්මුතියකට එළඹ ඔහුගේ සෙබලුන්ට මාලිගයට පිවිසීමට උපකාර කරන්නේ සාතකර්ණිව මරාදැමීමටයි. නමුත් ඔහුගේ මව එම උපායයන් බිඳහෙළා ඔහුව ආරක්ෂා කරගනියි.
ඩිමෙට්‍රියස් ඉන්දියාව ආක්‍රමණය කිරීමේ අරමුණින් සින්ධු රාජධානිය වෙත පැමිණ ඇති බව සාතකර්ණි ටහා ගනියි. නමුත් ඩිමෙට්‍රියස්ගේ හමුදාව ඔහුගේ හමුදාව මෙන් දස ගුණයක් පමණ විශාලත්වයෙන් වැඩි ය. එහිදී අවසන් සටන සඳහා ඔහු සූදානම් වෙයි. සාතකර්ණිගේ බිසව වන වාශිෂ්ඨී සිය සැමියාහට වස ලබාදෙනු පිළිබඳ අසුභ පෙරනිමිති සිහිනෙයන් දකියි. මේ නිසා ඇය සටනට නොයන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටිය ද, කුඩා කල සිටම තමන්ගේ සිහිනය වූ දේශය එක්සත් කිරීම සිදුකොට ඇති නමුත්, ආක්‍රමණිකයන් වනසා එය රැකගත යුතු බව පවසයි. මේ නිසා යුධයට යාම හැර සෙසු විකල්පයක් නොමැති බව ඔහු පවසයි. මේ අතර භික්ෂුවක මුණගැසෙන ගෞතමී බාලශ්‍රී මෙම අසුබ පෙරනිමිති පිළිබඳ විමසා සිටියි. භික්ෂුව පවසන්නේ ඒවා අනාගතයේ සත්‍ය විය හැකි බවයි. මේ නිසා ඇය සිය පුත්‍රයාට ප්‍රති-විෂ ලබාදෙන්නී ය.
අවසානයේ සිය යටත් රජවරුන් සමග සාතකර්ණි සින්ධු රාජධානිය වෙත පැමිණෙයි. පළමු දිනය වනවිට සාතකර්ණි, ග්‍රීක හමුදාවේ අඩක් පමණම විනාශ කිරීමට සමත් වේ. සාතකර්ණි ජීවත්ව සිටින තුරු ඉන්දියාව ආක්‍රමණය කිරීම අපහසු බව වටහාගන්නා ඩිමෙට්‍රියස් කූට උපායයක් යොදමින් සාම දූතවරියක ලෙස ඇතීනා (ෆාරා කරීමායී) නම් තරුණියක පිටත් කර හරියි. ඇය සාතකර්ණිහට වස ලබාදෙයි. ඊළඟ දිනයේ දී සාතකර්ණිප්‍රතිකාර ලබාගනිමින් සිටියි. යටත් රජවරුන් මේ හේතුවෙන් වික්ෂිප්ත වී සිටින්නේ තමන් යුධ වැදිය යුතු ද නැතහොත් ආපසු හැරී යා යුතු ද යන්න සිතමිනි. නමුත් සාතකර්ණිගේ අපේක්ෂාව රාජ්‍ය ජයග්‍රහණය කිරීම නොව ඒවායේ එක්සත් භාවය පවත්යා ගැනීම බව වටහාගන්නා ඔවුහු යුද්ධයට යාමට තීරණය කරති. මේ අතර මරණාසන්නව සිටි සාතකර්ණි සුවය ලබන අතර, යුධබිමේ දී ඔහු ඩිමෙට්‍රියස්ව පරාජය කරයි. නමුත් ඔහු ඩිමෙට්‍රියස්ව මරා නොදමයි. අවසානයේ ඔහු පවසන්නේ කිසිවකුට ඉන්දියාවේ එක්සත් බව විනාශ කළ නොහැකි බවයි.
Untitled |
---|
සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ චිරන්තන් භාට් විසිනි. සංගීත මුදාහැරීම සිදුකරන ලද්දේ ලහාරි මියුසික් සමාගම විසිනි. මෙහි ශ්‍රව්‍ය එළිදැක්වීම 2016 දෙසැම්බර් 26 දින තිරුපතිහි ශ්‍රී පණ්ඩිත් ජවහර්ලාල් නේරු රාෂ්ට්‍රීය උසස් පාසල් භූමියේ දී උත්කර්ෂවත් අයුරින් සිදු විය. මධ්‍යම අමාත්‍ය වෙන්කයියා නායිදු, ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය නරා චන්ද්‍රබාබු නායිදු මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ. මීට අමතරව ක්ෂේත්‍රයේ දැවැන්තයින් 100 දෙනකු ද එයට සහභාගී විය.[9][10]
අංකය. | ගීතය | ගී පද | ගායක(යින්) | කාලය |
---|---|---|---|---|
1. | "එකිමීඩා" | සිරිවෙන්නේලා සීතාරාම සාස්ත්‍රි | උදිත් නාරායන්, ශ්‍රේයා ඝෝෂාල් | 3:46 |
2. | "ගනා ගනා ගනා" | සිරිවෙන්නේලා සීතාරාම සාස්ත්‍රි | සිම්හා, ආනන්ද් භාස්කර්, වම්සි | 3:25 |
3. | "මෘගනායනා" | සිරිවෙන්නේගා සීතාරාම සාස්ත්‍රි | එස් පී. බාලු, ශ්‍රේයා ඝෝෂාල් | 4:57 |
4. | "සාහෝ සාර්වභෞම සාහෝ" | සිරිවන්නේලා සීතාරාම සාස්ත්‍රි | විජයි ප්‍රකාශ්, කීර්ති සාගතියා | 3:25 |
5. | "සිංහමු පායි ලංඝින්ච්නු (කධා ගානම්)" | සායි මාධව් | විජයි ප්‍රකාශ් | 4:23 |
Total length: |
20:33 |
මෙම චිත්‍රපටය පිළිබඳ යෝජනාව නිල වශයෙන් නිවේදනය කෙරුණේ 2016 අප්‍රේල් 8, එනම් උගාඩි දින සන්ධ්‍යාවේ ආන්ධ්‍ර ප්‍රදේශයේ යෝජිත අගනුවර වන අමරාවතීහි දී ය.[11] මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවතියේ 2015 අප්‍රේල් 22 දින හයිදරාබාද්හි ය. මෙම උළෙලට කේ. චන්ද්‍රසේඛර් රාඕ, ටී. හරිෂ් රාඕ, චිරන්ජීවි, වෙන්කටේෂ්, කේ. රාඝවේන්ද්‍ර රාඕ, දසාරි නාරායනා රාඕ, සිංගීතම් ශ්‍රීනිවාසා රාඕ, බෝයාපති ශ්‍රීනු, සායි කෝරපති, ශ්‍රීවාස්, සහ අක්කිනේනි රමේෂ් ප්‍රසාද් වැනි ප්‍රකට පුද්ගලයෝ එයට සහභාගී වූහ.[12][13] මෙහි ප්‍රධාන කාන්තා චරිතය සඳහා නිළියක තේරීමට බොහෝ කලක් ගත විය. අනුෂ්කා ෂෙට්ටි සහ නයන්තාරා වැනි නිළියන් තෝරාගැනීමට තීරණය කොට තිබිණි. නමුත් විවිධ තෙලිඟු නිර්මාණ සමගින් සාර්ථකත්වයට පත්ව සිටි නිළි ශ්‍රියා සරන් මේ සඳහා තෝරාගැනිණි.[14] කෘතහස්ත බොලිවුඩ් නිළියක වන හේමා මාලිනී විසින් බාලක්‍රිෂ්ණාගේ මවගේ චරිතය වූ ගෞතමී බාලශ්‍රී චරිතය සඳහා තෝරාගැනිණි.[15] සැබැවින්ම, මුලින් සංගීත නිර්මාණය සඳහා තෝරාගැනුණේ දේවි ශ්‍රී ප්‍රසාද් වුවත්, ඔහුට දින සම්බන්ධ ගැටලුවක් ඇතිවූ හෙයින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට සිදු විය.[16] ඔහු ව්‍යාපෘතිය අත්හැරි පසු ඉලෛයරාජා, එම්. එම්. කීරවානි වැනි විශිෂ්ට සංගීත අධ්‍යක්ෂකවරුන් පිළිබඳ සලකා බැලුණු නමුත්, අවසානයේ චිරන්තන් භාට් සංගීත අධ්‍යක්ෂක ලෙස පත්කෙරිණි.[17] නීතා ලල්ලා විසින් චිත්‍රපටයේ වස්ත්‍ර සහ ආභරණ සැලසුම් කරන ලදී.[18]
2016 සැප්තැම්බර් 4 දින චිතපට පසුතලයේ දී නන්දමුරි බාලක්‍රිෂ්ණා විසින් හේමා මාලිනීහට ගෞරව කිරීමක් ලෙස සාරියක් ත්‍යාග කළේ ඇයව මවිතයට පත් කරමිනි. මෙය රාජස්ථානයේ සිදු විය.[19] චිත්‍රපටයේ පළමු දැක්වීමේ ටීසරය 2016 ඔක්තෝබර් 11 දින පෙ.ව. 10:15ට විජයදශාමි උත්සවයේ දී සිදු විය.[20] එහි ට්‍රේලරය 2016 දෙසැම්බර් 16 දින තෙලංගානාවේ කරීම්නගර්හි තිරුමාලා වේදිකාවේ දී සිදු විය.[21]
ද හින්දු පුවත්පතේ ශ්‍රීවත්සන් නාදධූර් විසින් මෙම චිත්‍රපටයට තරු 4/5ක් ලබාදෙමින් පැවසූයේ "මෙම චිත්‍රපට තෙලිඟු අනන්‍යතාව පිළිබඳ කථා කරයි. අමරාවතියේ වැදගත්කම යළි අවධාරණය කරයි. දේශසීමා රහිත සමාජයක් පිළිබඳ කථා කරයි. ශ්‍රියා හට ජීවිත කාලය තුළ නිරූපණය කළ හැකි විශිෂ්ට චරිතයක් ලබා දී ඇති නමුත්, බාලක්‍රිෂ්ගේ චිත්‍රපටයක් ලෙස සනිටුහන්ව ඇත. ක්‍රිෂ්ගේ ජයග්‍රහණය නම් මෙය ඔහුගේ සත්වන වියදම වීමයි."[22] තෙලංගානා ටුඩේහි මුරලි ක්‍රිෂ්ණා පවසන්නේ "ගෞතමීපුත්‍ර සාතකර්ණි[23] පරිපූර්ණ ලෙසින් බාලක්‍රිෂ්ණාගේ පුද්ගලභාවය සමග මුසු වී ඇත. පෙර නොකියූ වීරයකුගේ අප්‍රකට තොරතුරු කරළියට ගෙන ඇති ක්‍රිෂ් සාර්ථක අයුරින් මෙහි කථාමය ස්වරූපය ග්‍රහණය කොටගෙන ඇත".[24] 10TV අධ්‍යක්ෂක කාති මහේෂ් මෙයට ලකුණු 4/5ක් ලබාදෙමින් පවසන්නේ "ඔබට තෙලිඟුවරුන්ගේ ඉතිහාසය සහ ඔවුන් ජාතිය ගොඩනැගුමට දායක වූ ආකාරය දැනගන්නට හැකි වනු ඇත" යනුවෙනි.[25] Iඅයිඩ්ල්බ්‍රේන් ජීවි මෙයට 3.25/5ක ඇගයුමක් ලබාදෙමින් පවසන්නේ "ගෞතමීපුත්‍ර සාතකර්ණි වැනි චිත්‍රපට සිනමාහල් තුළ නැරඹීමට දිරිගැන්විය යුත්තේ එමගින් එක්සත් ජාතියක් පාලනය කළ අපගේම තෙලිඟු වීරවරුන් හඳුන්වා දෙන හෙයිනි" යනුවෙනි.[26]