ද ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන් | |
---|---|
තැනුවේ | නියුමෙරෝ යුනෝ ඉන්ටර්නැෂනල් |
රචනය කලේ | භාග්වන් ගිද්වානි |
අධ්‍යක්ෂණය කලේ | සංජේ ඛාන් සහ අක්බාර් ඛාන් |
රඟපෑම | සංජේ ඛාන් මාල්විකා තිවාරි මායා අලාඝ් දීපිකා චිඛාලියා අනන්ත් මහාදේවන් මුකේෂ් රිෂි ෂාබාස් ඛාන් |
Composer(s) | නෞෂාද් |
සම්භව රට | ඉන්දියාව |
කථාංග ගණන | 60 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සංජේ ඛාන් |
ස්ථානය(න්) | ප්‍රීමියර් ස්ටූඩියෝ, මයිසූර් |
සිනෙමාරූපණය | බෂීර් අලි |
ධාවන කාලය | ආසන්න වශයෙන් මිනිත්තු 45 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | DD නැෂනල් (1990-1991) |
මුල් ධාවනය | 1990 – 1991 |
ද ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන් යනුවෙන් හැඳින්වෙන්නේ 1990දී විකාශය ඇරඹි ඉන්දියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙය පළමුවරට විකාශය වූයේ DD නැෂනල් නාළිකාව ඔස්සේ ය. භාග්වන් ගිද්වානිගේ නවකථාවක් ඇසුරෙන් නිර්මාණය වූ මෙම කතාමාලාව මලින් 18වන සියවසේ මයිසෝරයේ විසූ තිපු සුල්තාන් නැමැති පාලකයාගේ ජීවන පුවත නිරූපණය වේ. මෙම කතාමාලාව එහි චරිත නිරූපණය සහ අභිමානවත්භාවය හේතුවෙන් පැසසුමට ලක් විය.[1]
මෙම නාට්‍යය රූගත කිරීමේ දී බොහෝ බාධාවන්ට මුහුණ පාන්නට සිදු විය. මේ අතුරින් එකක් ලෙස මයිසෝරයේ ප්‍රීමියර් ස්ටූඩියෝ කලාගාරයේ ඇති වූ මහා ගින්නක් ද වේ. මෙහිදී ජීවිත 62ක් විනාශ විය.[2]
මෙම රූපවාහිනී මාලා නාට්‍යය නිෂ්පාදනය කරන ලද්දේ නියුමෙරෝ යුනෝ ඉන්ටර්නැෂනල් සමාගම විසිනි. මෙහි අධිපතීත්වය දරන ලද්දේ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂකවරයකු වූ සංජේ ඛාන් ය.[3] සංජේ ඛාන්ගේ සොහොයුරා වූ අක්බාර් ඛාන් විසින් මෙහි මාස 18ක් පුරාවට පළමු කථාංග 20 අධ්‍යක්ෂණය කරන ලදී.[4] මෙහි සංගීථ නිර්මාණය සුප්‍රකට නෞෂාද් විසින් වන අතර, ඡායාරූපකරණය බෂීර් අලි විසින් සිදුකරන ලදී. සෙසු කථාංග සංජේ ඛාන් විසින් අධ්‍යක්ෂණය කළ අතර, ඔහු විසින්ම මෙහි ප්‍රධාන චරිතය වන තිපු සුල්තාන්ගේ චරිතය නිරූපණය කරන ලදී. මෙහි සම්පූර්ණ කථාංග සංඛ්‍යාව 52කි. ඉන් සමහරක් කර්නාටක ප්‍රාන්තයේ මයිසෝර්හි ප්‍රීමියර් ස්ටූඩියෝස් කලාගාරයේ දී රූගත කෙරිණි.
මෙම කතාමාලාව සඳහා පාදක කොටගෙන ඇත්තේ, මොන්ට්‍රියල් සම්භවයැති රචකයකු වන භාග්වන් එස්. ගිද්වානිගේ එම නාමයම ඇති නවකථාවයි.[5] ඉතා හොඳින් අලෙවි වූ නවකථාවක් වූ එය පිටපත් 200,000ක් පමණ අලෙවි වූවකි. භාෂා රැසකට පරිවර්තනය වූ එය 44වරක් යළි මුද්‍රණය කෙරිණි. මෙම නවකථාවේ රචකයා වීමට අමතරව, ගිද්වානි විසින් මෙම කතාමාලාවේ කථාංග 60 සඳහා තිරරචනය ද සිදු කරන ලදී. මෙහි අවසන් කථාංග කිහිපය රූගත කරන ලද්දේ හදිසි ගින්නක් ඇතිවීමෙන් වසර කිහිපයකට පසුවයි. මෙම නාට්‍යය සඳහා තෝරා ගැනුණු සෙසු ප්‍රමුඛ නළු නිළියන් අතර, සීමා කෙල්කාර්, අනන්ත් මහාදේවන්, මුකේෂ් රිෂි, ෂාබාස් ඛාන් සහ දීපිකා චිඛාලියා ද වේ.
1990දී මෙම කතාමාලාව පළමුව හින්දි බසින් දූර්දර්ශන් නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි. 2001දී එය ස්ටාර් ප්ලස් නාළිකාවෙන් ද විකාශය කෙරිණි.[6] මෙහි කථාංග බෙංගාලි බසට පරිවර්තනය කොට BTV නාළිකාව ඔස්සේ 1990 දශකයේ මුල්කාලයේ විකාශය කෙරිණි. දෙමළ බසින් හඬකැවුණු එය 2006දී DD පොදිගෛ නාළිකාවෙන් විකාශය විය.[7] BTV විකාශයේ දී මෙහි ඇති ඇතැම් දෙබස් ශෝධනය කෙරිණි. මේ හැර අර්ධද්වීපයෙන් පිටත විකාශය සැලකූ විට, මෙම නාට්‍යය 1990 දශකයේ මුල් කාලයේ එක්සත් රාජධානියේ චැනල් 4 නාළිකාවෙන් ද විකාශය කෙරිණි. ඉරානය, ඉන්දුනීසියාව සහ මොරිෂස් රාජ්‍යයන්හි ද මෙය විකාශය විය. පසුකලෙක DVD 12කින් සමන්විත මෙහි මුල් ඇසුරුමක් මුදා හැරිණි.[8]
මේ කතාමාලාව මේ වන විට මලයාලම් බසින් හඬකවා මීඩියා වන් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වෙමින් පවතියි.[9]
මෙම නාට්‍යයේ විකාශයට එරෙහිව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කොට ඇත. රවි වර්මා ඇතුළු පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙම කතාමාලාව තිපු සුල්තාන්ගේ සැබෑ දිවිය මත පදනම් නොවූවක් බවයි.[10] මෙහි චෝදනා සැලකීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්කළේ මෙම කතාමාලාව විකාශය කළ හැකි බවත්, නමුත් එහි සෑම කථාංගයකම පහත පරිදි දැන්වීමක් අන්තර්ගත විය යුතු බවත් ය: "මෙම කතාමාලාවේ නිරූපිතසෑම කථාංගයකම නිරවද්‍යභාවය සහ හෝ පිළිගත හැකි භාවය පිළිබඳ වගකියනු නොලැබේ. මෙම කතාමාලාව ප්‍රබන්ධයක් වන අතර, එය තිපු සුල්තාන්ගේ දිවිය හෝ පාලනය සම්බන්ධව අදාළ කර නොගත යුතු ය. මෙම කතාමාලාව භාග්වාන් ගිද්වානිගේ නවකථාවේ නාට්‍යමය නිරූපණයක් බව සලකන්න."[11]
1990 පෙබරවාරි 8 දින මෙම නාට්‍යය රූගත කරමින් පැවති මයිසෝරයේ ප්‍රීමියර් ස්ටූඩියෝස් කලාගාරයේ විශාල ගින්නක් ඇති විය. මෙයට ප්‍රධාන හේතූන් ලෙස ගිනි නිවන උපකරණ නොතිබීම සහ ගිනි ආරක්ෂාව පිළිබඳ නොදැනුවත්භාවය හේතු වූයේ යැයි පැවසේ.[12] මෙහි වයර් ලිහිල්ව සම්බන්ධ කොට තිබීම සහ මනා වාතාශ්‍රයක් නොතිබීම් හේතුවෙන් ගින්න පැතිරගියේ ය. මෙහි බිත්තිවල ගිනි ප්‍රතිරෝධී අමුද්‍රව්‍ය වෙනුවට පැවතියේ ගෝනි මලු ය. රූගත කිරීම් සඳහා භාවිතා වූ දැවැන්ත ආලෝක උපාංග හේතුවෙන් මේ හේතුවෙන් උෂ්ණත්වය 120°C (248°F) පමණ දක්වා ඉහළගියේ ය. ඉහත ප්‍රධාන සාධක හේතුවෙන් මහා ගින්නක් ඇති විය. මෙහි දී මරණ 62ක් වාර්තා විය. මෙහි ප්‍රධාන නළුවා වූ සංජේ ඛාන්ට බරපතල තුවාල ඇති වූ අතර, ඔහුට මාස 13ක් රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදු වූ අතර, ශල්‍යකර්ම 72ක් සිදුකෙරිණි. මෙහි පීඩාවට පත්වූ ඇතැමුන් හට රු. 5000ක වන්දියක් පිරිනැමිණි.[13]
මෙම නාට්‍යය වෙනුවෙන් සංජේ ඛාන් හට ඉන්දියාවේ මැණික යන සම්මානය හිමි විය.[14]
{{cite web}}
: Italic or bold markup not allowed in: |work=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |work=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |work=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |work=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |work=
(help)