නලින් ද සිල්වා | |
---|---|
![]() | |
උපත | 1944 ඔක්තෝම්බර් 20 කෝවිල ගොඩැල්ල, පානදුර, බ්‍රිතාන්‍ය ලංකාව |
මියගිය දිනය | 2024/05/02 |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | බෞද්ධාලෝක මහා විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය රාජකීය විද්‍යාලය ලංකා විශ්ව විද්‍යාලය සසෙක්ස් විශ්ව විද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | ජාතික චින්තනය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය භෞතික විද්‍යාව දේශපාලන මතවාද |
වෙබ් අඩවිය | http://www.kalaya.org/ |
ආගම | බෞද්ධ |
ඨකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා[1] එසේත් නැත්නම් සරලව, හිටපු මහාචාර්ය, ආචාර්ය නලින් ද සිල්වා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් විය. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙකු වූ ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද දැන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉසුලුවේය.
ක්‍රි.ව. 1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.[තහවුරු කර නොමැත] මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.[තහවුරු කර නොමැත]
නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.
නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.
නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති වන්නේය. ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර එහි වූ සමහර ලිපි කාලය වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.
ආචාර්ය නලින් ද සිල්වා හා ඔහුගේ ශිෂ්‍ය සුරාජ් චන්දන හා විසින් කැළැණි (විද්‍යාලංකාර) සරසවියේ සිදු කළ න්‍යායික හා පරියේෂණ කටයුතු වල ප්‍රතිඵල වශයෙන් විද්‍යාලංකාර විවරණය ඉදිරිපත් කැරුණි. ඔහු මෙ මඟින් අංශුවල තරංග ස්වභාවය ප්‍රතික්ෂේප කරමින් ද්විත්ව සිදුරු පර්යේෂණයේ දී තිරයට ළඟාවීමට පෙර අංශුව එක විට දී මැ සිදුරු දෙකෙහි මැ පෙනී සිටින බව පවසයි.[2][3]
ආචාර්ය නලින් ද සිල්වා ත්වරණය වන හා මන්දනය වන විශ්වයක් සඳහා ආකෘතියක් ඉදිරිපත් කර ඇත.[4]
2010 දී ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ දීර්ඝ කාලයක සිට පවතින වකුගඩු රෝග සම්බන්ධව එවකට කැළණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධාන මහාචාර්ය ප්‍රියානි පරණගමගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් පර්යේෂණයක් පවත්වන ලදි. එවකට එම සරසවියේ විද්‍යා පීඨාධිපතිව සිටි නලින් ද සිල්වා මහතා මෙම කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් කටයුතු කලේය[1]. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල 2011 වර්ෂයේ ප්‍රකාශයට පත්කරන ලදි. පර්යේෂක කණ්ඩායම උතුරුමැද පලාතේ පානීය ජලයේ, ශාක වල, සහල් වල සහ අනිකුත් නියැදියන්හි ආසනික් අධික ප්‍රමාණ වලින් අඩංගු වන බව ප්‍රකාශ කලේය. මෙම ආසනික් ආනයනික කෘමිනාශක වලින් පරිසර පද්ධතියට එකතු වූ බව ඔවුන්ගේ චෝදනාව විය[2]. නමුත් පර්යේෂණයට අදාල දත්ත ප්‍රසිද්ධ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා මෙම නිගමනයේ නිරවද්‍යතාවය පිලිබදව සැක මතු විය.
මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති වූ කැලඹීම හේතුවෙන් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය (Institute of Industrial Technology) විසින් මෙම ක්ෂේත්‍රයට අදාල එම ආයතනයේ පර්යේෂණ වල ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලදි. එම ආයතනය Hydride Generation Atomic Absorption Spectrometry නම් ක්‍රමවේදය යොදාගෙන කල පරීක්ෂා වලදී ලංකාවේ සහල් නියැදි වල ආසනික් ඉහල ප්‍රමාණ වලින් අඩංගු බව තහවුරු වී නැත. ලංකාවේ භාවිතා වන කෘෂි රසායන වර්ග 28ක් අතරින් 3ක පමණක් ආසනික් අඩංගු වන අතර, ඒවායේද නලින් ද සිල්වාගේ කණ්ඩායම චෝදනා කරන ආකාරයේ විශාල ප්‍රමාණ වලින් ආසනික් අඩංගු නොවන බවද එම ආයතනය තහවුරු කලේය. මීට නලින් ද සිල්වාගේ කණ්ඩායමේ පිලිතුර වූයේ ආසනික් ප්‍රමාණ සම්බන්ධ තොරතුරු තමන්ට ලබා දුන්නේ සම්‍යක් ද්රුෂ්ටික දෙවිවරු[3] බවත්, එම තොරතුරු පර්යේෂණ පත්‍රිකාවක ඇතුලත් කළහොත් කර්තෘත්වය ගැන ගැටළු මතුවන බැවින් ඒවා ප්‍රකාශ කල නොහකි බවත්ය. වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම තොරතුරු නාත දෙවියන් විසින් දුන් බව නලින් ද සිල්වා ප්‍රකාශ කළේය[4]. මෙම පිලිතුර විද්‍යාත්මක නොවන බවට එල්ල වූ චෝදනාවට නලින් ද සිල්වාගේ පිළිතුර පහත දැක්වේ. "මෙය ඉතා සරලයි. අපට මහාචාර්ය වරුන් පෙනේ. මහාචාර්යවරුන්ට ආසනික් නොපෙනේ. අපට දෙවිවරුන් නොපෙනේ. දෙවිවරුන්ට ආසනික් පෙනේ. මා මෙහි ඇති සමමිතියට කැමතියි. ඊනියා විද්‍යාත්මක ක්‍රමය බොරුවක් බව මම දනිමි[5]". මහාචාර්ය පරණගම මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකල අතර තමන්ට ආසනික් ගැන හෙලි කලේ කතිකාචාර්ය වරයකුගේ භාර්යාව බවත්, ඇයට දෙවියන් සමග කතාබහ කල හැකි බවත්, ඒ තොරතුරු තම පර්යේෂණයට විද්‍යාත්මකව යොදාගත් බවත් පැවසීය[6] . ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමය මෙම පර්යේෂණය, එහි ක්‍රමවේදය හා ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් 2011 ජූලි මාසයේ ප්‍රකාශයක් නිකුත් කලේය [7]. එහෙත් නලින් ද සිල්වා ආසනික් සම්බන්ධ තම ප්‍රකාශ කිසිවක් ඉල්ලා අස්කරගෙන නැති අතර මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාව ආසනික් හා දෙව්යෝ නමින් පොතක් පලකර ඇත.
{{cite web}}
: Empty citation (help): |last= has generic name (help)