ලිපි මාලාවක කොටසක් වන |
ශෛව ආගම |
---|
හින්දු ආගම ද්වාරය |
පශුපති මුද්‍රාව යනුවෙන් හඳුන්වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජො-දාරෝ පුරාවිද්‍යා අඩවියෙන් සොයාගැනුණු ස්ටීටයිට් පාෂාණයෙන් නිමවූ මුද්‍රාවක් හඳුන්වන නාමයකි. මෙම මුද්‍රාව මගින් හිඳි රුවක් නිරූපණය වන අතර, එහි ත්‍රිශීර්ෂක (හිස් තුන්ක සහිත) ස්වභාවයක් ඇත. වරක් මෙම මුද්‍රාව මගින් ඍජු ශිෂ්ණය සහිත රුවක් නිරූපණය වෙතැයි විශ්වාස කෙරුණ ද, වර්තමානයේ එම මතය බොහෝදෙනකු විසින් ප්‍රතික්ෂේප කොට ඇත. මෙම පුද්ගලයා අං සහිත ශීර්ෂාවරණයක් පැළඳ සිටින අතර සත්ත්වයින් පිරිවරා සිටියි. ඇතැම්විට මෙමගින් අං සහිත දෙවියකු නිරූපණය වනවා විය හැක. මෙය හින්දු දෙවි ශිව (මෙම මුද්‍රාව නම්කෙරුණේ ද ශිවගේ විරුද නාමයක් වන "පශුපති" යන්න ඇසුරෙනි) හෝ රුද්‍රගේ ආදිතම නිරූපණයක් යැයි යෝජනා වී ඇත. මොහු තපස, යෝග, සහ ලිංග සමග සම්බන්ධ ය. එසේම සත්ත්වයින්ගේ අධිබති ලෙස සැලකෙන ඔහු බොහෝ අවස්ථාවන්හි හිස් තුනක් සහිතව නිරූපණය කෙරේ. මෙම රුව පුරාතන මෑත පෙරදිග සහ මධ්‍යධරණී කලාව තුළ පුළුල්ව හමුවන සත්ත්වයින්ගේ අධිපති මෝස්තරය සහ අං සහිත දෙවිවරුන් නිරූපිත වෙනත් සම්ප්‍රදායයන් සමග සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.[1]
මෙම මුද්‍රාව සොයාගැනුණේ 1928-1929 අතර කාලයේ මොහෙන්ජො-දාරෝවේ DK-G කලාපයේ දකුණු පෙදෙසහි 1වන කොටෙසහි තිබී ය. එය පොළව මතුපිට සිට මීටර 3.9ක් ගැඹුරින් තිබී හමු විය.[3] මොහෙන්ජො-දාරෝවේ කැනීම් කටයුතු මෙහෙයවූ ඊ. ජේ. එච්. මැකේ විසින් මෙම මුද්‍රාව අන්තර්මධ්‍ය I යුගයට (වර්තමානයේ එය ක්‍රි.පූ. 2350-2000ට අයත් යැයි සැලකේ) අයත් යැයි සිය 1937-1938 වාර්තාවෙහි සටහන් කොට ඇත. මෙහි මුද්‍රාව 420 ලෙස අංකනය කොට ඇත.[4]
මෙම මුද්‍රාව නිර්මාණය කොට ඇත්තේ ස්ටීටයිට්වලින් වන අතර එහි මිනුම් 3.56 cm x 3.53 cm පරිදි වේ. මෙහි ඝනකම 0.76 cmකි. මෙහි මධ්‍යයේ ඇති වේදිකාව මත හිඳගෙන සිටින මිනිස් රුව ඉදිරිය බලා සිටියි. රූපයේ දෙපා දෙදණ අසලින් නවා විලුඹවල් ස්පර්ශවන ලෙසත්, පා ඇඟිලි පහතට යොමුවන අයුරිනුත් නෙළා ඇත. පිටතට විහිදෙන දෑත් ලිහිල්ව දෙදණ මත තබා ඇත. මහපටැඟිලි සිරුරෙන් බවතට යොමුවන සේ කැටයම් කොට ඇත. අත් වැසෙන සේ පැළඳි කුඩා වළලු අටක් සහ විශාල වළලු තුනක් දක්නට ලැබේ. ළය පෙදෙස මාල වැනි ව්‍යූහවලින් වැසී ඇති අතර, ඉණ වටා ද්විත්ව පටියක් පැළඳ සිටියි. මෙම රුව පැළඳ සිටින උසැති විසිතුරු ශීර්ෂාවරණයේ මධ්‍යයේ අවාන් හැඩැති ව්‍යූහයක් සහ දෙපස දාර සහිත අං යුගළක් දැකගත හැක. මිනිස් රුව වටා වන සතුන් හතරක් දක්නට ලැබේ. එක් පසෙක හස්තියකු සහ ව්‍යාඝ්‍රයකු සිටින අතර, මී ගවයකු සහ රයිනෝසිරස් සත්ත්වයකු අවෙක් පසින් දැකගත හැක. උස් ආසනයට පහළින් මුවන් හො අයිබික්ස් සත්ත්වයින් දෙදෙනකු පසුපස බලමින් සිටිනු නිරූපිත ය. මේ නිසා උන්ගේ අං ද මධ්‍යය දෙසට යොමුවී ඇත. මුද්‍රාව මුදුනේ රූපාක්ෂර හතක් දැකගත හැකි අතර, තිරස් අවකාශය ප්‍රමාණවත් නොවීම නිසා එහි අයසන් අක්ෂරය පහලින් ලියා ඇති බව පෙනේ.[5][6]
ඉන්දු නිම්න භූමියේ කැනීම් කටයුතු මෙහෙයවූ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ-ජනරාල් ලෙස කටයුතු කළ පුරාවිද්‍යාඥ ජෝන් මාර්ෂල් විසින් මුද්‍රාවේ නිරූපිත රූපය පිළිබඳ ආදිතම විස්තරයක් සහ විශ්ලේෂණයක් සපයා ඇත. ඉහතින් විස්තර කළ මුද්‍රාවේ සාමාන්‍ය ලක්ෂණවලට අමතරය ඔහු දකින්නේ මධ්‍යයේ ඇති රුව පුරුෂ දේවතා රුවක් ලෙසයි. එය හිස් තුනක් සහිත බවත් ඇතැම්විට සිව්වන හිස පසුපසට විහිදී ඇති බවත්, ඍජු ශිෂ්ණයක් සහිත තැනැත්තකු බවත් ඔහු පවසයි. ඉණපටියෙන් පහළට විහිදෙන මල් කරළක් වැනි ව්‍යූහය ශිෂ්ණයක් විය හැකි යැයි ඔහු යෝජනා කොට ඇත. වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔහු මෙම මුද්‍රාව හින්දු දෙවි ශිවගේ (හෝ ඔහුගේ වේදික පූර්වප්‍රාප්තික රුද්‍රගේ) මූලාදර්ශයක් ලෙස හඳුනාගැනීමයි. ඓතිහාසික සමයේ ඔහුව පශුපති ('ගවයන්ගේ අධිපති') ලෙස හඳුන්වා ඇත.[7] 1928-1929 ප්‍රකාශනයක මාර්ෂල් මෙම හඳුනා ගැනීමට හේතූන් පහත පරිදි සාරාංශ කොට දක්වා ඇත:
මෙම හැඳින්වීමට මට ඇති හේතූන් සතරකි. පළමුවැන්න නම් රූපයේ ඇති මුහුණු තුනයි. ශිව ද මුහුණු තුනකින් සහ සුලබව මුහුණු පහකින් යුතුව නිරූපණය කොට ඇත. මේ සඳහා නිදසුන් බහුලව දැක්විය හැක. දෙවනුව, හිසෙහි ඇති කිරුළ ගවයකුගේ අං වලින් යුතු අතර ත්‍රිශූලය ශිවගේ සංකේතයක් ද වේ. තෙවනුව මෙම රුව දර්ශීය යෝගී ඉරියව්වෙන් සිටින අතර, ශිව ද එසේ සිටිනු නිරූපණය කොට ඇත. ශිව මහායෝගී—යෝගිවරුනගේ කුමරු යන නාමයෙන් ද හඳුන්වා තිබේ. සිව්වැන්න නම්, ඔහු සත්ත්වයින් පිරිවරා සිටීමයි. ශිව "සත්ත්වයින්ගේ අධිපති" (පශුපති) වනාන්තරයේ වන සතුන්ගේ අධිපති ලෙස හඳුන්වා ඇත. පශු යන්නෙහි වේදික අර්ථය ගෘහස්ථකරණය කළ ගවයන්ට වඩා එහා ගිය දෙයකි.[3]
පසුව, 1931දී ඔහු ශිව පිළිබඳ වූ මතය තවත් විහිදුවාලමින් ඔහු සහ ඍජු ශිෂ්ණය අතර සම්බන්ධතාව ලිංග සංකල්පය ආශ්‍රයෙන් පැහැදිළි කොට ඇත. එසේම මධ්‍යකාලීන කලාව තුළ ශිව මුවන් හෝ අයිබික්සයන් සමග දක්වා ඇත්තේ මුද්‍රාවේ අසුන යට නිරූපිත අයුරිනි.[7][8] ඉන්දු නිම්න ප්‍රදේශය සහ පශුපති මුද්‍රාව පිළිබඳ මාර්ෂල්ගේ විශ්ලේෂණය අතිශයින් බලවත් මතයක් වූ අතර, එය ඉදිරි පරම්පරා දෙක තුළ ද ව්‍යාප්ත විය. උදාහරණයක් ලෙස හර්බට් සුලිවන් විසින් 1964දී මාර්ෂලගේ විශ්ලේෂණය "බොහෝදුරට සර්වත්‍රව පිළිගැනෙන බවත්, හින්දු ආගමේ ඓතිහාසික සංවර්ධනය කෙරෙහි එය අතිශයින් බලපෑ බවත්" රචනා කොට තිබීම දැක්විය හැක.[9] 1976දී ඩොරිස් ශ්‍රීනිවාසන් විසින් මාර්ෂල්ගේ අර්ථනිරූපණය පිළිබඳ විවේචනාත්මක ලිපියක් ලියන්නට වූයේ "මුද්‍රාවේ ප්‍රතිමා ශිල්පය පිළිබඳ ඇත්තේ කුමන පිළිගැනීමක් වුවත්, එය හැමවිටම මාර්ෂල්ගේ අර්ථ නිරූපණය මූලික කොට තිබීම නිසායි. මුද්‍රාවේ ප්‍රාක්-ශිව චරිතය පිළිගැනීමට ලක්ව ඇත."[10] ඇල්ෆ් හිල්ටිබෙයිටල් සඳහන් කළේ, මාර්ෂල්ගේ විශ්ලේෂණයෙන් පසුව, "[ඉන්දු නිම්නයේ] ආගම අර්ථ කථනයට කිරීම දැරූ ප්‍රයත්න සියල්ලම පාහේ [පශුපති මුද්‍රාවේ] රුව වටා කේන්ද්‍රගත විය".[11]
මෙම මුද්‍රාව පිළිබඳ පුළුල් සංවාදයක් ඇතිවී තිබේ.[12] මාර්ෂල්ගේ අදහසට කිසියම් සහයෝගයක් හිමිව ඇති නමුත්, බොහෝ විද්වතුන් සහ ආධාරකරුවන් පවා එහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟ නොවේ. ඩොරිස් ශ්‍රීනිවාසන් තර්ක කරන්නේ මෙම රුවට මුහුණු තුනක් හෝ යෝගික ඉරියව්වක් නොමැති බවයි. එසේම වෛදික සාහිත්‍යයේ එන රුද්‍ර වන සතුන්ගේ ආරක්ෂකයා නොවන බවත් පවසයි.[13][14] හර්බට් සුලිවන් සහ ඇල්ෆ් හිල්ටිබෙයිටල් විසින් ද මාර්ෂල්ගේ නිගමය ප්‍රතික්ෂේප කොට ඇත. මින් පළමු පුද්ගලයා පැවසූයේ මෙම රුව ස්ත්‍රී රුවක් බවයි. දෙවන පුද්ගලයා පැවසූයේ මෙම රුව මහීෂ හෙවත් මී ගව දේවතාවා හා සම්බන්ද බවත්, අවට සිටින සත්ත්වයින් ප්‍රධාන දිශා සතරට අධිපති දෙවිවරුන්ගේ වාහන බවයි.[9][15] කෙසේනමුත්, මහීෂ ශිවගේ ස්වරූපයක් වන මහේෂහට ප්‍රබල සමානත්වයක් දක්වයි. මේ නිසා පශුපති, ශිවගේ වාහගේ වාහනය නන්දි නම් ගවයා ද සැලකිල්ලට ගැනීමට සිදු වේ. මෙය ද පශුපති මුද්‍රාව සහ ශිවගේ මූලාදර්ශ අතර කිසියම් සම්බන්ධයක් පවතින බවට සාක්ෂි ලබා දෙයි.[16][17] මෙම මුද්‍රාව පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් වී ඇති අතර, ඉන් ඇතැම් මතයන් වෛදික දේවතාවන් වන රුද්‍ර, අග්නි, මශීෂ, වරුණ, යෝගී, ත්‍රිශූලය ශීර්ෂාවරණය ලෙස පැළඳි යෝගී, දසාරතාන්ඩ්ගේ සමකාලීනයකු වන රිෂ්‍යශෘංග (අං සහිත මුනිවරයෙක්) වැනි පුද්ගලයන් සමග සම්බන්ධ ය. මීට අමතරව අසම්භාව්‍ය ද්‍රවිඩ සම්භවයක් ඇතැයි පැවසෙන ආර්ය-නොවන දෙවිවරුන් පිළිබඳ ද යෝජනා පවතියි.[12]
2002දී ග්‍රෙගරි එල්. පොසේල් විසින් නිගමනය කළේ මෙම රුව දේවතාවකු ලෙස හැඳින්වීම උචිත වන බවයි. දිය මී ගවයා සමග සම්බන්ධතාව, ආගමික ශාස්තෘවරයකු ලෙස ඉරියව්ව සහ ශිවගේ මූලාදර්ශය පිළිබඳ අදහස් "තවදුරටත් දිගට විහිදෙන" බව සැලකේ.[18]
{{cite book}}
: Invalid |ref=harv
(help){{cite journal}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite journal}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite journal}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite journal}}
: Invalid |ref=harv
(help)