බොන්ගුන්සා | |
![]() සම්සොං-දොං අහස බොන්ගුන්සා සිට පෙනෙන අයුරු, 2020 | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 봉은사 |
හන්ජා | 奉恩寺 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Bongeunsa |
මැකූන්–රයිෂවර් | Pongŭnsa |
බොන්ගුන්සා (කොරියානු: 봉은사; හන්ජා: 奉恩寺) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි ගංනම්-ගු හි සම්සොං-දොං නම් ප්‍රදේශයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථානයකි.[1] මෙය ආරම්භ කරන ලද්දේ 794 දී වොන්සොං රජ සමයේ සිල්ලාවේ එකල ඉහළම ධුරන්ධර භික්ෂුවක වූ යොන්-හොයි (කොරියානු: 연희) විසිනි. මෙය මුලින් හඳුන්වන ලද්දේ ග්යොන්සොංසා (කොරියානු: 견성사; හන්ජා: 見性寺) යනුවෙනි. මෙය පිහිටියේ සුදෝ කන්දේ බෑවුමේ ය.
ජොසොන් රාජවංශ යුගයේ දී, කොරියාවේ බුද්ධාගම දැඩිව යටපත් කෙරිණි. කෙසේනමුත්, 1498 දී ජොසොන් අගබිසවක වූ ජොංහ්යොන් අගබිසවගේ අනුග්‍රහය යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු මෙම විහාරය බොන්ගුන්සා ලෙස නම්කෙරිණි. මෙහි "බොන්ගුන්සා" යන්න සොංජොං රජුට ගෞරවයක් ලෙස යොදා ඇත.[2]
16වන සියවසේ මැද භාගයේ කෙටි කාලීනව කොරියාවේ බුද්ධාගම යළි නඟාසිටුවීමට කටයුතු කළ මුන්ජොං අගබිසවගේ අනුග්‍රහය යටතේ, මෙම විහාරය කොරියානු සොන් (සෙන්) බුදු දහමේ මූලස්ථානයක් විය.[3] 1548 දී මුන්ජොං අගබිසව විසින් බෝ-වු නම් භික්ෂුව මෙහි විහාරාධිපති ලෙස පත්කළැ අතර, කොරියාවේ එකල විසූ බෞද්ධ-විරෝධී පාක්ෂිකයන් විසින් උන්වහන්සේව ඝාතනය කරන ලදී. 1552-1564 අතර කාලයේ මෙම විහාරය බෞද්ධ ජාතික විභාගයේ මධ්‍යස්ථානය ලෙස පැවතිණි.
1902 දී බොන්ගුන්සාව කොරියානු අධිරාජ්‍යයේ ප්‍රධාන සිද්ධස්ථාන 14 අතුරින් එකක් ලෙස නම්කෙරිණි. ජපන් යටත්විජිත සමයේ දී මෙම විහාරය සෝල් නගරය වට වූ කුඩා බෞද්ධ විහාර 80ක මූලස්ථානය ලෙස නම්කෙරිණි. 1922 සහ 1929 වර්ෂවල දී, මෙහි නායක භික්ෂුව වූ චොං-හෝ හන් ගංගාවට යටවීමට ගිය පුද්ගලයන් 700කට අධික සංඛ්‍යාවක් බේරාගැනීම නිසා, මෙම ස්ථානයට විශාල පිළිගැනීමක් හිමි විය. යටත්විජිත පාලන සමයෙන් පසු බොන්ගුන්සාව කොරියාවේ විශාලතම බෞද්ධ නිකාය වූ ජොග්යේ නිකාය යටතට පත් විය.
1939 දී ඇතිවූ ගින්නකින් මෙහි ගොඩනැගිලි බොහෝමයක් විනාශ වූ අතර, විහාරයේ සෙසු කොටස් කොරියානු යුධ සමයේ විනාශයට පත් විය. වාසනාවකට, කොරියානු යුද්ධයෙන් විනාශ නොවී ඉතිරි වූ ශාලාවලින් එකක 1885 දී යොං-කි භික්ෂුව විසින් සම්පූර්ණ කරන ලද අවතාංසක සූත්‍රයේ ලී මුද්‍රණ අච්චු අන්තර්ගත වේ. නොයෙකුත් ප්‍රතිසංස්කරණවලට ලක්වූ විහාරය නැවතත් වර්තමානයෙහි විශාල ප්රතාපවත් ස්වරූපයෙන් පවතියි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වර්තමානයේ පවා සිදුවෙමින් පවතියි.