මිර්යුක්සා | |
![]() | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 미륵사 |
හන්ජා | 彌勒寺 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Mireuksa |
මැකූන්–රයිෂවර් | Mirǔksa |
මිර්යුක්සා යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු අර්ධද්වීපයේ පුරාතන බෙක්ජේ රාජධානියේ පිහිටා තිබූ විශාලතම බෞද්ධ විහාරයයි. මෙම විහාරය ස්ථාපනය කරන ලද්දේ ක්‍රි.ව. 602දී මු රජු විසින් වන අතර එහි පිහිටීම 36.012083 N, 127.031028 E ලෙස දැක්විය හැක. මෙය පිහිටියේ දකුණු කොරියාවේ, උතුරු ජොල්ලා ප්‍රදේශයේ නූතන ඉක්සන්හි ය. 1980දී මෙම භූමියේ කැනීම් කටයුතු සිදු කෙරුණු අතර, එමගින් බෙක්ජේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ නොදත් කරුණු රාශියක් අනාවරණය විය. මිර්යුක්සාහි පිහිටි ශෛලමය ස්තූපය දැනට ශේෂව ඇති බෙක්ජේ ස්තූප දෙකෙන් එකකි. මෙය පැරණිතම කොරියානු ස්තූප අතුරින්, විශාලතම ස්තූපය ද වේ.
මිර්යුක්සාව නිර්මාණය පිළිබඳ පුරාවෘත්තය සම්ගුංන්‍යුසාහි සඳහන් කොට ඇත.[1] මු රජු සහ ඔහුගේ අගබිසවහට යොංහ්වාසන් පොකුණ අසල දී මෛත්‍රෙය බෝසතුන් දර්ශනය වී ඇත. රජු ක්ෂණිකව පොකුණ සිඳී යාමට සලස්වා එතැන මිර්යුක්සා විහාර සංකීර්ණය ස්ථාපනය කළේ ය. විහාර සංකීර්ණය මධ්‍යයේ පිහිටුවා තිබූ මහල් නවයකින් යුත් දැව ස්තූපය බෙක්ජේ මූලාචාර්ය කලා ශිල්පියකු වූ අබිජිගේ නිර්මාණයක් ලෙස සැලකේ.
දකුණු කොරියානු ඓතිහාසික ස්ථානය අංක 150 ලෙස නම්කෙරුණු[2] මිර්යුක්සාව අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කොට ඇති අතර, එහි වර්තමානයේ කෞතුකාගාරයක් ද ඉදිකොට ඇත.
මෙම සංකීර්ණයේ මධ්‍යයේ දැව ස්තූපයක් සහ පරිවාර ශෛලමය ස්තූප ද්විත්වයක් විය. ප්‍රාකාර සංකීර්ණයේ පිටත පිවිසුම වෙත මාර්ගයක් ද වූ බැව් පෙනේ. මිර්යුක්සා විහාරයේ ස්තූප එයටම අනන්‍ය ආකාරයකට ඉදිකොට ඇති අතර, නැගෙනහිර සිට බටහිර වෙත දිවෙන ඍජු රේඛාවක් මත එය නිර්මාණය කොට ඇත. මේ සෑම එකකම උතුරු දෙසින් ශාලාවක් ඇත. සෑම ස්තූපයක්ම සහ ශාලාවක්ම ආවරණය කළ බරාඳයකින් සමන්විත වූ බැව් පෙනේ. එම නිසා මෙයට වෙන් වූ විහාර තුනක ස්වරූපයක් හිමිවී ඇත. මෙම ගෘහිනර්මාණ ශෛලිය "තනි ශාලා-තනි ස්තූප" ශෛලිය නම් වේ.
මධ්‍යයේ පිහිටා තිබූ ස්තූපය දැවයන් තනා තිබෙන්නට ඇතැයි සොයාගෙන ඇත. සෙසු ස්තූප දෙක ගල්වලින් නිර්මාණය කොට ඇත. දැව ස්තූපයේ උතුරු සහ දකුණු දෙසින් විශාල ප්‍රධාන ශාලාවක සහ මධ්‍ය ද්වාරයක නටබුන් සොයාගන්නා ලදී.
1962 දෙසැම්බර් 20 දින මිර්යුක්සාහි ශෛලමය ස්තූපය (මිර්යුක්සා ජිසොක්තප්) කොරියාවේ ජාතික උරුමයක් ලෙස නම්කෙරිණි. මෙය වර්තමානය තෙක් ශේෂව ඇති පැරණිතම සහ විශාලතම ශෛලමය ස්තූපය වේ. මෙ ස්තූපය බටහිර ස්තූපයයි. එය ක්‍රි.ව. 600 සිට 640 දක්වා බෙක්ජේ රාජ්‍යය පාලනය කළ මු රජු විසින් ඉදි කරන ලද්දකැයි විශ්වාස කෙරේ. මෙම ස්තූපය ගෘහනිර්මාණ ශිල්පය අතින් වැදගත් ස්ථානයක් උසුලන්නේ එමගින් බෙක්ජේවාසීන් දැව කැටයම් පිළිබඳ සිය දැනුම ශෛලමය නිර්මාණ සඳහා යෙදවූ ආකාරය පිළිබඳ නිරූපණය කරන හෙයිනි. මෙම ශෛලමය ස්තූපය නිර්මාණයේ දී භාවිතා වූ දැව ස්තූප තාක්ෂණික ක්‍රමයක් ලෙස ස්තූපයේ පාදම පහත්ව, තනි මහලකින් යුක්තව නිර්මාණය කර තිබීම දැක්විය හැක. එය දැව ස්තූපයක අයුරින් නිමවා තිබේ. මෙම ස්තූපයෙන්, විද්වතුන් හට දැව කැටයම් තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක්කේ, බොහෝ කොරියානු දැවමය ස්තූපය කාලයාගේ ඇවෑමෙන් සහ යුද්ධ නිසා විනාශයට පත්වී ඇති හෙයිනි. වර්තමානයේ, මෙම ස්තූපය මහල් හයකින් සමන්විත ය. නමුත් මෙම ස්තූපය සතුව මුලින් මහල් කිහිපයක් පැවතියේ ද යන්න තවමත් අවිනිශ්චිත ය. පළමු මහලේ සෑම පැත්තක්ම, කොටස් තුනකට බැගින් බෙදා ඇත. එහි මැද කොටම විහාරය තුළට දිවෙන ද්වාරයකින් සමන්විත ය. ස්තූපයේ මධ්‍ය දෙසට ඇවිද ගිය විට, යමකු හට දැවැන්ත මධ්‍ය කුළුණක් දැකගත හැක. මීට අමතරව කොන්වල ද කුළුණු දැකගත හැකි අතර, දැවමය ආධාරක කුළුණුවල ආකාරයෙන් එය නිමවා තිබේ. ස්තූපයේ පියස්සේ කෙළවර මඳක් ඉහළට එසවී ඇති අතර, ක්‍රමයෙන් ඉහළට යත්ම සෑම මහලක්ම එයට පහතින් ඇති මහලට වඩා කුඩා වන ස්වරූපයෙන් ඉදිකොට ඇත.
2009 ජනවාරි මාසයේ සිදුක කැනීම්වලින්, බටහිර ස්තූපයේ තිබී රත්රන් තහඩුවක් සොයාගන්නා ලදී. මෙම තහඩුවේ දෙපසම සම්භාව්‍ය චීන අක්ෂරවලින් ලියන ලද අභිලේඛනයක් විය. මෙමගින් මිර්යුක්සා විහාරය ඉදිකළ දිනය සහ හේතුව විස්තර කොට තිබේ. රන් තහඩුව තුළට නිරේධනය කොට කැටයම් කළ අක්ෂර, රතු තීන්ත හෙවත් ජුචිල් (හන්ජා: 朱漆) ආධාරයෙන් වර්ණගන්වා ඇත. මෙය වැදගත් කලා නිර්මාණ සඳහා භාවිතා වූ ශිල්ප ක්‍රමයකි.
චීන බසින් යුතු මුල් අභිලේඛනය පහත පරිදි වේ:
|
|
දළ වශයෙන් සිංහල බසට පරිවර්තනය කළ විට පහත පරිදි වේ,
මේ පිළිබඳ සිතීමේ දී, බුදුන් වහන්සේ (法王) මෙලොවට වැඩම කළේ සමකාලීකරණය සහ බුදු දහමේ බොහෝ ශ්‍රාවකයින්ගේ අපේක්ෂාවන්ට ප්‍රතිචාරයක් වශයෙනි. මෙය ජලයේ දිදුළන චන්ද්‍රයා වැනි ය. මේ නිසා බුදුන් වහන්සේ උපත ලැබූයේ මාලිගයක වන අතර සල් වෘක්ෂයක් මුල දී නිර්වාණය අවබෝධ කරගත්හ. ශරීර අෂ්ඨාංග ඉතිරි කර ගබා ගිය උන් වහන්සේ ලෝක තුන් දහසකට සෙත සැලසූහ. මේ නිසා, සැබැවින්ම පංච වර්ණයෙන් දිදුළන ශරීරය සත් වරක් ගෞරවණීය පිළිවෙතක මාර්ගයෙන් නැවත පැමිණීමට නියමව තිබූ අතර, එහි ඵලය වශයෙන් ඇතිවන දිව්‍යමය විපර්යාසය වචනයෙන් විස්තර කළ නොහැක. ජ්වාප්යොං (佐平) සාකෙන් ජොක්දොක් (沙乇積德) ගේ දියණිය වශයෙන් අපගේ බෙක්ජේහි රැජින (මු රජුගේ අගබිසවකි) වසර ගණනාවක් පුරා දයාව වපුරන්නට වූවා ය. ඇය වර්තමානය දිවිය තුළ ලත් කර්මය අනුව, ජනයාට ඉගැන්වූවා ය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල ප්‍රබල අනුගාමිකාවක වන ඇය, සිය ධනය වැය කරමින් විහාර ස්ථාපනය කළ අතර ගිහේ වර්ෂයේ පළමු මාසයේ විසි නවවන දිනයේ (ජූලියානු දින දර්ශනය අනුව ක්‍රි.ව. 639 මාර්තු) මෙම ශරීරය ඇය හිමි කරගත්තා ය. වසර ගණනාවක් පුරා දයානුග්‍රහයේ නියැළීම සහ මෙම දයාබර ක්‍රියාව හේතුවෙන් අධිරාජ උතුමාණන් (මු රජු; 大王陛下) කඳුවැටියක් මෙන් ස්ථාවර සිටිනු ඇතැයි අපි යාඥා කරමු. දෙව්ලොව සහ පොළොව සේම ඔහුගේ රාජ්‍ය සමය ද සදාතනික වනු ඇත. යහපත් ධර්ම මාර්ගය (正法) ඉහත ව්‍යාප්ත වනු ඇතැයි සහ පහළ සියලු ජනයාගේ වැජඹීම (蒼生) අපි ප්‍රාර්ථනා කරමු. රුජිනගේ සිරුර සහ හදවත සදාකාලිකව ධර්මය පතුරුවන දිය-දර්පණයක් බඳු වේවායි අප යාඥා කරමු. අහස් කුස මෙන් ඇගේ අගනා සිරුර වැනසී නොයේවා! ඇයට පරම්පරා ගණනාවක් පුරාවට සතුට හිමි වේවා! එසේම සියලු බෞද්ධ අනුගාමිකයින්හට අවබෝධය සාක්ෂාත් කරගන්නට හැකි වේවා![තහවුරු කර නොමැත]
මිර්යුක්සා විහාරයේ පවතින තවත් වැදගත් කෞතුක වස්තූන් ලෙස විහාර භූමියේ ඇති කොඩි ගස් ආධාරක (මිර්යුක්සා ජිදං ගන්ජිජු) හැඳින්විය හැක. මෙම දැවැන්ත පාෂාණ ද්විත්වය සෙන්ටිමීටර 90ක් ඈතින් සවිකොට ඇත. විශේෂ සැමරුම් උත්සවවල දී, කොඩි ගසක් සවිකොට තිබුණු අතර, එයට ආධාරක ලෙස මෙම ශිලා ස්තම්භ ද්විත්වය භාවිතා විය. එක් කණුවක කොඩි සඳහා සිදුරු තුන බැගින් වේ. පළමු සිදුරු යුගල සමචතුරස්‍ර හැඩැති වූ අතර, සෙසු යුගල දෙක වෘත්තාකාර හැඩැති විය. කොඩි ගස්වල පාදම අද දක්නට නැත. කොඩි ගස්වල ඇති විසිතුරු නොවන ස්වභාවය සහ කොඩි ගස් ද්විත්වයෙහි පිටත කැටයම් කොට ඇති තිරස් ඉරි හේතුවෙන් ඒවා පසුකාලීන සිල්ලා යුගයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
1910දී බටහිර ස්තූපයේ (දකුණු කොරියානු ජාතික වස්තුව අං. 11) කොටසක් පමණක් ස්ථාවරව පැවතිණි. 1914දී ජපන් රජය විසින් එයට කොන්ක්‍රීට් ආධාරයකයක් සවිකරන ලදී. 20වන සියවසේ අගභාගයේ කොරියානු පුරාවිද්‍යාඥයින් විසින් පුළුල් කැනීම් කටයුතු දියත් කළ අතර, එය එහි අර්ධ සංරක්ෂණයක් සඳහා පදම යෙදීම සහ අරුත් ගැන්වීම් මධ්‍යස්ථානය බිහි වීමට හේතු විය. 1999දී බටහිර ශෛලමය ස්තූපයේ කොන්ක්‍රීට් ආධාරකය ඉවත් කෙරිණි. අනතුරුව සම්පූර්ණ ස්තූපයම කොටස් ගලවා ඉවත් කිරීම සිදු විය. එය ප්‍රතිසංස්කරණ කටයුතුවලට භාජනය වෙමින් පවතින අතර, 2009දී එය අවසන් කිරීමට අදහස් කෙරිණි.
විහාර සංකීර්ණයෙන් සොයාගැනුණු බොහෝ පුරාවස්තු අතර ශිලා පහන් ටැම් සහ විහාර ගොඩනැගිල්ල පිහිටුවීමට යොදාගත් කුළුණු හා පේසා මළුවල අත්තිවාරම් ගල් දැකගත හැක. පෞද්ගලික නිවහන් දැව පත්ලක් සහිත සරල ව්‍යූහයන් විය. එක් වාර්තාවකින් කියැවෙන්නේ මෙම නිවෙස් වෙත ළඟා වූයේ ඉණිමගකින් බවයි. මිර්යුක්සා සහ ඉම්ගංසා විහාර බිම්වල කැනීම් කටයුතු සිදුකරන පුරාවිද්‍යාඥයින් විසින් දැවමය බිම්තලයන් පිහිටුවා තිබෙන්නට ඇතැයි සිතිය හැකි උසැති අත්තිවාරම් ගල් සොයාගෙන ඇත. මෙම ක්‍රමවේදය පෞද්ගලික නිවෙස්වලින් උකහා ගන්නට ඇතැයි සිතිය හැක. උස් වූ පියස්ස සහ බිම් උණුසුම් කිරීමේ ක්‍රමය පසුකලෙක කොරියානු නිවෙස්වල වැදගත් අංග බවට පත් විය.
{{cite book}}
: Invalid |ref=harv
(help){{cite web}}
: no-break space character in |publisher=
at position 10 (help){{cite web}}
: no-break space character in |publisher=
at position 10 (help)