මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
මුර්යොං රජුගේ සොහොන්ගැබ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 무령왕릉 |
හන්ජා | 武寧王陵 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Muryeongwangleung |
මැකූන්–රයිෂවර් | Muryŏngwanglŭng |
මුර්යොං රජුගේ සොහොන්ගැබ හෙවත් සොංසන්-රි සොහොන් අං. 7 (공주 송산리 7호분) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 501 සිට 523 දක්වා බෙක්ජේ රාජධානිය පාලනය කළ මුර්යොං රජුගේ සහ ඔහුගේ රැජිනියගේ පුරාතන සොහොන් ගොඩැල්ලයි. සොරුන්ගේ ග්‍රහණයට නතු නොවූ බෙක්ජේ සොහොන්ගැබ් අතිශයින් විරළ නිසා මෙම නොඉඳුල් සොහොන්ගැබ කොරියාවේ විශිෂ්ටතම පුරාවිද්‍යා සොයාගැනීමක් ලෙස සැලකේ. තුන් රාජධානිවලින් එකක් වන බෙක්ජේ රාජ්‍යය පිළිබඳ තොරතුරු සපයන ප්‍රභවයක් ලෙස ද මෙය තීරණාත්මක වේ.[1]
මෙම සොහොන්ගැබ පිහිටියේ වර්තමාන දකුණු කොරියාවේ චුංචොංනම්-දෝ පළාතේ ගොංජුහි ය.[2] කොරියානු ඓතිහාසික අඩවිය අංක 13 ලෙස එය නම්කොට ඇත. මුර්යොං රජුගේ සොහොන්ගැබ දකුණු කොරියානු රජයේ තාවකාලික ලෝක උරුම අඩවි ලැයිස්තුවට ඇතුළත් කොට ඇත.
මෙම සොහොන්ගැබ සොයාගැනුණේ 1971දී අං. 5 සහ 6 සොහොන්වල ජලාපවහන කටයුතු සිදු කිරීමේ දී අහම්බෙනි. සහස්‍රකයක් පුරාවට එය නිධන් සොරුන්ගේ සහ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු නොවී පැවතිණි. මෙය විවෘත කළේ රජුගේ සහ අගබිසවගේ දේහයන් තැන්පත් කොට සියවස් පහළොවකට පසුවයි.[3]
සොහොන්ගැබේ පිටත පස් ගොඩැල්ලක මෙන් ස්වරූපයක් ඇති අතර, එහි විෂ්කම්භය මීටර 20ක් සහ උස මීටර 7.7ක් (අඩි 66 x අඩි 25) වේ. මුල් සොහොන්ගැබ මෙයට වඩා විශාලත්වයෙන් වැඩි වන්නට ඇතැයි විශ්වාස කෙරේ. සොහොන්ගැබ සතුව ජලාවහන ක්‍රමයක් ද පැවතිණි. මෙම සොහොන්ගැබ ඉදිකොට ඇත්තේ දකුණු චීන මූලාදර්ශ අනුව වුවත්, බෙක්ජේහි අංග ද ඇතුළත්ව මෙය කොරියානු-ආරේ සොහොන්ගැබක් ලෙස සැලකේ. වෙන්වෙන්ව ගත්විට සොහොන්ගැබේ ඇතුළත් කොරියානු අංග නම් කුටිවල ඇති ආරුක්කු හැඩැති ස්වභාවය සහ ගඩොලුවල වර්ණ රටාවයි. මුර්යොං රජුගේ ගොඩැල්ලෙහි ශෛලිය දැකගත හැකි වන්නේ ගොංජු ප්‍රදේශයේ පමණි. චීන සම්ප්‍රදායේ දී සොහොන් උතුරට මුහුණලා ඉදිවුව ද, මෙම සොහොන්ගැබ දකුණු දෙසට ඉදිකොට ඇත. කෙසේනමුත්, චීන ක්‍රමය අනුව රජුගේ දේහය නැගෙනහිර කොටසේත්, රැජිනගේ දේහය බටහිර කොටසේත් තැන්පත් කොට ඇත.
ප්‍රධාන කුටිය ඍජුකෝණාස්‍රාකාර අතර, එය කළු ගඩොල්වලින් තනා ඇත. එය උතුරු-දකුණු දෙසින් මීටර 4.2ක ද, නැගෙනහිර-බටහිර දෙසින් 3.14ක දිගිනුත් යුතු අතර, උස මීටර 3.14කි. උතුරු සහ දකුණු බිත්ති ඍජුව පිහිටා තිබුණ ද, නැගෙනහිර සහ බටහිර බිත්ති ඇතුළු දෙසින් වක්‍රාකාරව තනා ඇත. මේ නිසා ආරුක්කු හැඩැති පියස්සක් සෑදේ. දකුණු බිත්තියෙහි ආරුක්කු-හැඩැති දොරටුවක් ඇති අතර, එය සොහොන්ගැබේ පිවිසුම වෙත දිවෙන පැසේජ මඟකට විවෘත වේ. දොරටුවේ දිග මීටර 2.9කි. පළල මීටර 1.04ක් සහ උස මීටර 1.45කි. නැගෙනහිර සහ බටහිර බිත්තිවල පහන් තැබීමට ලූනූ ගෙඩියක හෝ ගිනි සිළුවක හැඩැති අවකාශ දෙකක් තනා ඇති අතර, උතුරු බිත්තියේ ඇත්තේ එවැනි එක් අවකාශයක් පමණි. බිත්තියේ ගඩොලු ස්ථානගත කොට ඇත්තේ සමාන්තරව දිගටි අතට සහ පළල් අතට ය. ගඩොල්වල ප්‍රධාන වශයෙන් නෙළුම් මල් රටාවන් දැකගත හැකි අතර, වෙනත් මෝස්තර ද ඇතුළත් කොට ඇත.
සොහොන්ගැබේ තිබී භාණ්ඩ 2,906ක් හමුවූ අතර, ඒවා පසුව ප්‍රවර්ග 108කට වර්ගීකරණය කරන ලදී. වඩාත් වැදගත් භාණ්ඩ අතරට, රජු සහ රැජින වෙනුවෙන් නිම කළ රාජකීය ශීර්ෂ පළඳනා යුගළ ද්විත්වයක් සහ වැදගත් තොරතුරු හා දින අන්තර්ගත ශිලා ලේඛන දෙකක් ද අයත් වේ. මෙම සමරු ලේඛන මගින් රජුගේ සහ රැජිනගේ නම සහ වයස ලබාදෙන අතර, ඔවුන් මරණය සහ භූමදානය සිදුවූ දින ද සටහන් කොට ඇත. මෙය කොරියානු සොහොන්ගැබ්වල විරළව දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙම දිනයන් ද අතිශයින් වැදගත් වන්නේ එමගින් කොරියානු ඉතිහාස ලේඛනයක් වන සම්ගුක් සගිහි තොරතුරු පැහැදිළිවම සනාථ කරන හෙයිනි.
සෙසු භාණ්ඩ අතරට චීන සෙලඩන් බුජම්, තඹ පාත්‍රයක්, රනින් හා රිදියෙන් නිමකළ අත් පළඳනා සහ කර්ණාභරණ, පාද ඵලක, ලෝකඩ දර්පණ, මුදු-හැඩැති මිට සහිත අසිපතක් සහ රන් ආලේපිත ලෝකඩ පාවහන් ද වේ. සොහොන්ගැබේ සිවිගෙය දැව මිනීපෙට්ටිවල ශේෂයන්ගෙන් ආවරණය වී පැවතිණි. අවමංගල භාණ්ඩ මිනීපෙට්ටිවලට පහළින් තැන්පත් කොට තිබූ අතර, වඩාත් වැදගත් පුරාවස්තු රජුගේ සහ රැජිනියගේ දේහය මත තැන්පත් කොට තිබිණි. මෙයට උදාහරණයක් ලෙස අසිපත රජුගේ ඉණෙහි සහ ශීර්ෂ පළඳනා රජුගේ හා රැජිනියගේ හිසෙහි තැන්පත් කොට තිබීම දැක්විය හැක.