යිෂියෑන්හි ඔපදැමූ මැටි ලුවෝහන් ප්‍රතිමා යනුවෙන් හැඳින්වෙන්නේ පළමු ලෝක යුද්ධයට පෙර බීජිංවලට දකුණින් පිහිටි යි ෂියෑන් හෙවත් හෙබෙයිහි යි ප්‍රාන්තයේ (සරල චීන: 易县; සම්ප්‍රදායික චීන: 易縣; පින්යින්: Yì Xiàn) ඉ චෞ (ඉ-චෞ, යිචෞං) ගුහාවලින් හමුවූ ලියාඕ රාජවංශ (907–1125) සමයට අයත් යැයි විශ්වාස කෙරෙන ඔපදැමූ මැටිවලින් තැනූ ජීව-ප්‍රමාණයේ ලුවෝහන් භික්ෂූන් නිරූපිත ප්‍රතිමා සමූහයකි.[1] මෙම ප්‍රතිමා "ලෝකයේ ඇති වැදගත්ම සෙරමික් පතිමා සමූහය අතුරින් එකක්" ලෙස සැලකේ.[2] අන්තර්ජාතික වෙළඳපොල කරා ළඟා වූ මෙම ප්‍රතිමා බටහිර එකතූන් සඳහා මිලදී ගන්නා ලදී. මුලින් අවම වශයෙන් ප්‍රතිමා අටක් වත් හමුවන්නට ඇත. මේ අතරට දෙවන ලෝක යුද්ධයේ දී බර්ලිනයේ දී විනාශ වන්නට ඇතැයි දීර්ඝ කාලයක් විශ්වාස කොට, මෑතක දී රුසියාවේ ඇතැයි වාර්තා වූ විශාල ප්‍රතිමා කැබැල්ලක් ද අයත් වේ.
සෙසු ප්‍රතිමා වර්තමානයේ පහත කෞතුකාගාර එකතූන්හි දැකගත හැකි ය: ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ප්‍රතිමා දෙකක් ඇතුළත් නිව් යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, ටොරන්ටෝවේ රාජකීය ඔන්ටේරියෝ කෞතුකාගාරය, බොස්ටන් ලලිත කලා කෞතුකාගාරය, ෆිලඩෙල්ෆියාවේ පෙන් කෞතුකාගාරය, කැන්සාස් නගරයේ, නෙල්සන් කලාගාරය, පැරීසියේ මියුසී ගුයිමෙට් සහ ජපන් එකුතවක් මේ අතර වේ. බර්ලිනයේ දී අතුරුදන් වූ කලාකෘතියත් සමග, සම්පූර්ණ ප්‍රතිමා ගණන දහයක් ලෙස සැලකේ. බොහෝදුරට එම සමූහයටම අයත් විය හැකි ප්‍රතිමා කොටස් කිහිපය්ක වෙනත් කලා එකතූන්හි ද දැකගත හැකි ය.[3] මෙය සොයාගැනීම සම්බන්ධ සිදුවීම් සහ වෙළඳපොල කරා ළඟාවීම සිදුවූ ආකාරය පිළිබඳ විද්වතුන්ගේ අවධානය යොමුවී ඇති අතර, මෙතෙක් ඒ සඳහා පැහැදිළි නිගමනයක් නැත.
ලුවෝහන් යුනවෙන් හැඳින්වෙන්නේ චීන බසින් බුදුන් වහන්සේගේ ඓතිහාසික ශ්‍රාවක පිරිසක් වූ අරහත් යන්නයි. බෞද්ධ සම්ප්‍රදාය වර්ධනය වත්ම, විශේෂයෙන්ම නැගෙනහිර ආසියානු රටවල්වල අරහත් හෙවත් ලුවෝහන් භික්ෂූන් සංඛ්‍යාව ඉහළ ගියේ යැයි විශ්වාස කෙරේ. ඒ අතුරින් වඩා වැදගත් වූ රහතන් වහන්සේලා බෝධිසත්ත්වවරුන් ලෙස සැලකූ අවස්ථා ද දක්නට ලැබේ.[4] බෞද්ධ සම්ප්‍රදායයන් අනුව, මෛත්‍රෙය හෙවත් අනාගත බුදුන් වහන්සේගේ සම්ප්‍රාප්තිය තෙක් ලුවෝහන්වරුන් 16ක්, 18 ක් හෝ 500 දෙනකුගෙන් යුත් සමූහයක් මඟබලා සිටින බැව් පැවසේ.[5] මෙම භික්ෂූන්ගේ රූ නැගෙනහිර ආසියානු බෞද්ධ කලාව තුළ නිතරම පාහේ දක්නට ලැබේ. මෙහි සම්පූර්ණ ප්‍රතිමා එකතුවේ චීන පුරාවෘත්තයන්හි එන දහසය හෝ දහඅටක් වූ අරහත් භික්ෂූන්ගේ රූ තැන්පත් කොට තිබෙන්නට ඇත. නමුත්, විලියම් වොට්සන් විස්තර කරන්නේ මෙම මතය "සාමාන්‍ය අනුමානයක්" බවත් එය "විවාදාත්මක" බවත් ය. මේවා සහ මුල්කාලීන ප්‍රතිමා සයකින් හෝ අටකින් සමන්විත කුඩා එකතූන්වල ප්‍රතිමා සඳහා බෞද්ධ සම්ප්‍රදායයන්හි එන භික්ෂූන්ගේ නම් ලබා දී ඇත.[6]
මෙම ප්‍රතිමා සමූහයට වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ එහි ඇති ගුණාත්මකභාවය සහ එක් එක් රූපයෙහි වූ අනන්‍ය ස්වභාවය නිසායි; මේ නිසා යෝජනා වී ඇත්තේ මෙම පිළිරූ සමකාලීන භික්ෂූන්ගේ ආලේඛයන් වන්නට ඇති බවයි. වොට්සන්ට අනුව මෙම ප්‍රතිමා "යුගයේ යතාර්ථවාදී ව්‍යාජ-ප්‍රතිරූපකරණයේ අනර්ඝතම නිදසුන් වන අතර, මුහුණේ ලක්ෂණ නිරූපණයේ දී එහි ඉමහත් පරිපූර්ණ බවක් දක්නට ලැබේ". එහි දී "කන් පෙති දිගු කොට දැක්වීමේ දී පමණක් [සම්ප්‍රදායික බෞද්ධ] ප්‍රතිමා ශිල්පය අනුගමනය කොට ඇත".[7] ඇතැම් ප්‍රතිමාවල දක්නට ලැබෙන කොළ පැහැ හිසකෙස් ස්වාභාවිකත්වයෙන් මඳක් දුරස් වී ඇත. 1912දී මෙම ප්‍රතිමා සොයාගනු ලැබූ ස්ථානය ඒවා පිහිටුවා තිබූ සැබෑ ස්ථානය නොවන බැව් පෙනේ. එය මෙතෙක් හඳුනාගෙන නැත. එහි දී විහාරස්ථානයක වූ "ලුවෝහන් ශාලාව"ක ප්‍රතිමා 16කින් හෝ 8කින් යුත් සමූහයක් නිර්මාණය කොට තිබෙන්නට ඇත.[8] හිදැස් සහිත පාදම් කොටස් මගින් කඳු නිරූපණය කෙරෙන්නට ඇත; එයට හේතුව ලුවෝහන්වරුන් නිරූපිත බොහෝ සිතුවම් කුඩා කඳු ගැට මත ඉදිකොට තිබීමයි. එමගින් ශ්‍රමණ භික්ෂූන්ගේ කඳුකර වාසය නිරූපණය කෙරිණි.[9]
මුල්ම කාලයේ බටහිර විද්වතුන් මෙම ප්‍රතිමා ටෑං රාජවංශ (618–907) යුගයට අයත් යැයි සිතූ අතර, ඇතැමුන් යෝජනා කළේ එය පසුකාලීන මිං රාජවංශ යුගයට අයත් බවයි. නමුත් ප්‍රාදේශීය ලියාඕ රාජවංශ (ක්‍රි.ව. 916–1125) යුගයට අයත් දිනයක් සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ රුචිකත්වය පළ විය. එයට හේතුව මෑතක දී සිදු කළ විද්‍යාත්මක දිනනිර්ණ ක්‍රම අනුව මෙම ප්‍රතිමා මුල්කාලීන 12වන සියවටස අයත් යැයි යෝජනා වීමයි. එය බොහෝවිට අනුයාත ජින් රාජවංශ (1115–1234) යුගයට අයත් විය හැක.[10]
ෆිලඩෙල්ෆියාවේ සහ නිව් යෝක්හි (ලාබාල පිළිරුවේ) ප්‍රතිමාවල සිදුකළ තාපසංදීප්ත කාලනිර්ණ පරික්ෂා අනුව මැදි ලක්ෂ්‍ය දිනය ලෙස 1210 අගයයත්, පිළිවෙලින් වර්ෂ ± 100 සහ 200 යන අගයයත් ලැබිණි. එහි මධ්‍ය ලක්ෂ්‍යය ජින් රාජවංශ සමයයට අයත් වේ. ඩෙරෙක් ගිල්මන් අස්ථිර අයුරින් ප්‍රකාශ කරන්නේ 1159 යන වර්ෂයේ ප්‍රදේශයේ විශාල විහාරයක නවීකරණ කටයුතු සිදුවූ බවට වාර්තා ඇති බවයි. ඔහු යෝජනා කරන්නේ එම විහාරය මෙම ප්‍රතිමා තැන්පත් කොට තිබූ මුල් ස්ථානය විය හැකි බවයි.[11] බොස්ටන් ප්‍රතිමාවේ ඇතුළත තිබී මුල්කාලීන 12වන සියවසට අයත් කාසියක් ද හමු විය.[7]
Oriental Art, vol. 30, no. 3 (1984): pp 260–274