වේල් හෝ වේලායුධය (வேல்) යනු හින්දු දර්ශනයේ එන මුරුගන් දෙවියන්ගේ දිව්‍යමය ආයුධය වන කුන්තයයි. ගිණිදැල්ලක හැඩයකින් යුත් මෙහි සිංහල පදරුත සෑදෙන්නේ වේලන්ගේ ආයුධය = 'වේලායුධය' යන අර්ථකථනයට අනුවයි. මෙම කුන්තය ද්‍රවිඩ පෞරාණික සටන් ශාස්ත්‍රයේ භාවිතා වූ ආයුධයක් ලෙස සැලකේ. එසේම මෙම හැඩයෙන් යුත් ආයුධයක් කතරගම මහසෙන් නම් හෙළ රණ ශූරයාද භාවිතා කළ බවත් එය මේ වන විට භාවිත නොවන මට්ටමට පත්ව ඇති බවත් හෙළ අංගක්කරුවන්ගේ මතයයි.
මුරුගන් දෙවියන්ට සිය මව වන පාර්වතී විසින් ඇයගේ දේව බලය තම පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීම සඳහා ලබාදුන් බවත් විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බව සඳහන් වන අතර ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ.
එසේම හින්දු රණදෙවි ස්කන්ධ වේලායුධයක් අතැතිව දේව්ලොවින් සාගරයට බැස ගල් පහුරකින් යාත්‍රාකොට ලංකාවේ දෙවි නුවරයට ගොඩබට බවත් එම ධීවර ප්‍රදේශයේ කරවල වේලෙන දුර්ගයන්ධය ඉවසා ගත නොහැකිව එතැන හැර යන්නට තීරණය කොට තමාගේ වේලායුධය අහසට දමා ගැසූ අතර සැතපුම් හැත්තෑවක දුරක් ගමන් කළ එය කතරගමදි ගල් කුලක් මතට පතිතවූ අතර ස්කන්ධ තම වාස භූමිය වශයෙන් එම ප්‍රදේශය තෝරාගත් බවත් ද්‍රවිඩ දේවවෘත්තයක එන කථාවකි.
ඇතැම් මුරුගන් දේවාලවල එතුමන්ගේ දේවත්වය සංකේතවත් කිරීම සඳහා භාවිතා කරන වන්දනීය පූජනීය ආයුධයක් ලෙස සැලකේ. මුරුගන් හට තම මෑණියන් විසින් වේලායුධය ලබා දීම සැමරීම සඳහා වාර්ෂිකව සිදු කරන තායිපුසම් Thaipusam නැමති උත්සවයේදී දේව භක්තිකයෙකු තම සම, දිව හෝ නිකට වේලායුධය භාවිතයෙන් ඉරා ගැනීමක් සිදු කිරීම විශේෂත්වයකි.
මෙම වේලායුධය ද්‍රවිඩ ජාතිකයින් විසින් ආයුධයක් ලෙස භාවිතා කර ඇත. බොහෝ අවස්ථාවල ද්‍රවිඩ තරුණයින් විසින් මෙම වේලායුධයේ ලාංඡනයක් තම බෙල්ලේ පැළඳීම සාමාන්‍ය දෙයකි. එසේම 'වේල' හෝ 'වේලු' යන වචන කොටස 'ශක්ති' හෝ 'රාජා' යන වචන ඉදිරියේ භාවිතා කොට 'වේලුශක්ති' හෝ 'වේලරාජා' වැනි නම් ද්‍රවිඩ පිරිමි අයට භාවිතා වේ.