හරියානු පදනම් කුඤ්ඤ | |
---|---|
![]() ලූවර් සිංහ රුව සහ ආධාරක ශිලා ඵලකය | |
මාධ්‍යය | තඹ, හනුගල් |
ප්‍රමාණය | ලූවර් සිංහයා: 12.2 cm × 8.5 cm (4.8 in × 3.3 in) හුනුගල් ඵලකය: 10 cm × 9 cm (3.9 in × 3.5 in) මෙට්‍රොපොලින් කෞ. සිංහයා: 11.7 cm × 7.9 cm (4.6 in × 3.1 in) |
ලේඛනය | හරියානු භාෂාවෙන් යුත් කීලාක්ෂර අභිලේඛනය |
නිර්මාණය වූයේ | ආ. 2300 – ආ. ක්‍රි.පූ. 2159 |
යුගය/සංස්කෘතිය | අක්කාඩියානු/හරියානු |
සොයාගනු ලැබූයේ | නොදනී |
ස්ථානය | නෙර්ගාල් දේවස්ථානය, ඌර්කෙෂ්, සිරියාව |
වර්තමාන පිහිටුම | මියුසී ඩු ලූවර්, පැරිස් මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක් |
හැඳුනුම්කරණය | ලූවර් සිංහයා: AO 19938 ලූවර් ඵලකය: AO 19937 මෙට්. සිංහයා: 48.180 |
හරියානු පදනම් කුඤ්ඤ හෙවත් ඌර්කිෂ් සිංහ රූ යනුවෙන් හැඳින්වෙන්නේ සිංහ හැඩයෙන් යුත් තඹ අත්තිවාරම් කුඤ්ඤ ද්විත්වයකි. මේවා සිරියාවේ පුරාතන ඌර්කෙෂ් (නූතන ටෙල් මොසාන්) නගරයට අයත්ව තිබූයේ යැයි විශ්වාස කෙරේ. මෙම කුඤ්ඤ සමග ඇති කීලාක්ෂර ඵලකය අනුව ඒවා ඌර්කෙෂ් නගරයේ නෙර්ගාල් දේවස්ථානයේ අත්තිවාරමෙහි සවිකොට තිබී ඇත. මෙම කුඤ්ඤ යුගලෙහි සහ ඒ සමග ඇති අනුගාමී ශිලා ඵලකයේ ඇති අක්ෂර මෙතෙක් සොයාගැනුණු පැරණිතම හරියානු භාෂා වෙළ යැයි සැලකේ. මින් එක් සිංහ රුවක් එහි හුනුගල් ඵලකය සමග පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. දෙවන සිංහ රුව නිව් යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[1]
මෙම පදනම් කුඤ්ඤ අක්කාඩියානු යුගයට ආ. 2300 – ආ. ක්‍රි.පූ. 2159 කාලනිර්ණය කොට ඇත.[2] මේවා පාතාලයට අධිපති දෙවියා වන නෙර්ගාල් සඳහා ඉදිකළ දේවස්ථානයක අත්තිවාරමේ සවිකොට තිබී ඇත. මෙම කුඤ්ඤ තැන්පත් කොට ඇත්තේ දේවාලයේ සහ එය කැපකළ ඌර්කෙෂ්හි හරියානු කුමරකු වූ තිෂ්-අතාල්‍ගේ ආරක්ෂාව උදෙසා ය.[3] මෙම රූ වල ඉහළ කොටස දත් විලිස්සාගත් සිංහයකු ඉදිරි පාද වලින් එල්ලී සිටින අයුරින් නිර්මාණය කොට ඇති අතර, පහළ කොටස ඝනකම් කුඤ්ඤයක අයුරින් නිර්මාණය කොට ඇත. සිංහයා සිය පාද තබාගෙන සිටින තඹ ඵලකයේ කීලාක්ෂර අභිලේඛනයක් දක්නට ලැබේ.[2] තඹ ඵලකය සහ සිංහ කුඤ්ඤය වෙන්වෙන්ව නිර්මාණය කොට පසුව එකිනෙට සම්බ්නධ කරන ලදී.[3] ආරක්ෂාව උදෙසා මෙවැනි සිංහ රූ තැන්පත් කිරීම පුරාතන මෙසපොතේමියාවේ සුලබ දර්ශනයක් වුව ද, ඌර්කිෂ් සිංහ රූ අත්තිවාරම් කුඤ්ඤ ලෙස භාවිතා කොට ඇති අයුරු එයටම අනන්‍ය ය.[2]
ලූවර් සිංහ රුව 12.2 by 8.5 සෙන්ටිමීටර (4.8 in × 3.3 in) යන මිනුම්වලින් යුත් අතර, ඒවා සම්බන්ධ කොට ඇති ඵලකයේ පළල 8.5 සෙන්ටිමීටර (3.3 in) කි. තඹ ඵලකයේ ඇති ලේඛනයේ බොහෝ කොටස් මැකීගොස් ඇතත්, එහි කියවාගත හැකි මට්ටමේ පවතින කොටස් අනුව සනාථ වී ඇත්තේ ඒවා ශිලා ඵලකයේ ඇතුළත් ලේඛනයේම පිටපතක් බවයි.[1] සුදු හුනුගල් ඵලකය තඹ ඵලකයේ පහළ කොටස හා ගැළපෙන අතර, එහි මිනුම් 10 by 9 සෙන්ටිමීටර (3.9 in × 3.5 in) පරිදි වේ.[1][2] එහි පහත අභිලේඛනය ඇතුළත් ය:
"ඌර්කෙෂ්හි [එන්දන්] රජ තිෂතාල් නෙර්ගාල් දෙවියන් වෙනුවෙන් දෙවොලක් ඉදිකොට ඇත. නුබාදග් දෙවියෝ මෙම දෙවොල ආරක්ෂා කරත්වා. [එය] විනාශ කරන්නට තැත්කරන ඕනෑම අයකුව නුබාදග් විසින් විනාශ කරන සේක්වා; එම තැනැත්තාගේ දෙවියන් ඔහුගේ යාඥාවන්ට ඇහුම්කන් නොදේවා. නගාර්හි ආර්යා, [සූර්ය දෙවි] ෂිමිගා, සහ කුණාටුවේ දෙවිඳුන් [එය විනාශ කරන්නට තැත් කරන්නාට 10,000 වරක් ශාප කරත්වා]."
මෙම අභිලේඛනය හරියානු භාෂාවෙන් ලියැවුණු මෙතෙක් හඳුනාගැනුණු පැරණිතම ලේඛනය වේ.[1] මෙම ශිලා ඵලකය ද පෝහ කුඤ්ඤය සමග වළලා තිබී ඇති බව පෙනෙන්නේ, ඵලකයේ ඇති කොපර් ඔක්සයිඩ සලකුණු අනුව ය. එසේම ශිලා ඵලකයේ තැවරී තිබූ කොපර් ඔක්සයිඩවල සලකුණු නැවත තඹ ඵලකයේ ද තැවරී ඇත.[4]
මෙට් සිංහ රුව 11.7 by 7.9 සෙන්ටිමීටර (4.6 in × 3.1 in)[5][2] යන මිනුම්වලින් යුත් අතර, එය නිර්මාණය කොට ඇත්තේ ලූවර්හි ඇති සිංහ රුවේ අච්චුවට වඩා වෙනස් අච්චුවකිනි. නමුත් ඒවා ශෛලිය අතින් සමානකම් දක්වයි.[4] තඹ ඵලකයෙහි තවමත් කියවීමට පැහැදිළි අයුරින් කීලාක්ෂර දැකගත හැක. මෙම අභිලේඛනය පේළි දාහතරකින් සමන්විත ය. පේළි 1–12 දක්වා කැටයම් කොට ඇත්තේ ඵලකයේ දාරය සහ සිංහයාගේ වම් ඉදිරි පාදය අතර සිරස් අතට ය. පේළි 13 සහ 14 කැටයම්‍කොට ඇත්තේ තිරස් අතට සිංහයාගේ ඉදිරි පාද දෙක අතර ය. අභිලේඛනයේ ඇති සලකුණු අනුව, මෙහි අභිලේඛිත පෙළ ලූවර් ශිලා ඵලකයේ හමුවන සම්පූර්ණ අභිලේඛනයෙහිම පිටපතක් බැව් සනාථ කරයි.[6]
මෙම පුරාවස්තූන් කිසිවක ඒවා අත්පත් කරගත් ආකාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක වාර්තාවක් ඇතුළත් නොවේ. මේ නිසා ඒවා මුලින් පිහිටුවා තිබූ ආකාරය සනාථ කළ නොහැකි ය. ලූවර් සිංහ රුව සහ අනුගාමී ශිලා ඵලකය හිමි කරගැනුණේ 1948දී පැරීසියානු පුරාවස්තු වෙළෙන්දකුගෙනි. මෙට් සිංහ රුව ද 1948දී නිව් යෝක් පුරාවස්තු වෙළෙන්දකුගෙන් මිලදී ගැනුණේ ජෝසෆ් පුලිට්සර් බික්වෙස්ට්ගේ අනුග්‍රහය යටතේ ය.[7]